කුකුළු මස් හා බිත්තර සම්බන්ධව දැනට රට තුළ පවතින ගැටළුකාරී තත්ත්වය ඉදිරි මාස තුනක කාලයක් තුළ විසඳෙනු ඇති බවට තමන්ට විශ්වාසයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
පසුගිය සෙනසුරාදා ( 24) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවැති පශු සම්පත් සායන වැඩ සටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය විසින් තිස්සමහාරාම ප්‍රදේශයේ පශු සම්පත සඳහා සායන පැවැත්වීමේ වැඩ සටහනක් සංවිධානය කර තිබු අතර ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"මේ රටේ බිත්තර හා කුකුළු මස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව පසුගිය කොරෝනා වසංගත තත්ත්වයයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග බිත්තර රුපියල් දහයකටවත් විකුණා ගත නොහැකි තත්ත්වයක් මතු වුනා. ඒ වගේම කුකුළු මස් මිලත් පහළ ගියා . මෙම නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සිටි බොහෝ ව්‍යාපාරිකයෝ කුකුළු පාලනයෙන් ඉවත් වුනා. සමහරු තමන්ට අයත් කුකුළන් දහස් ගණනක් සිටි ගොවිපොළවල්වල සතුන් කුකුළු මස් සඳහා විකුණනු ලැබුවා.
අපේ රටේ කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාමට බලපෑ ප්‍රධාන කාරණය වුනේ මෙම තත්ත්වය තමයි. ඒ වගේම පසුගිය කාලය තුළ පැවැති ආර්ථික දුශ්කරතාවය නිසා මව්සතුන් ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම අඩු වුනා. 2022 වර්ෂයේ දී මව් සතුන් ආනයනය තිස්පන්දහසක් දක්වා අවම වී තිබෙනවා. සාමාන්‍යයෙන් වර්ෂයකට මව්සතුන් අසූ දහසක් පමණ ආනයනය කළ යුතු වුවත් ඩොලර් හිඟය නිසා ඊට විශාල බලපෑමක් එල්ල වුනා.
නමුත් දැනට තිබෙන තත්ත්වය අනුව නැවතත් කුකුළු ගොවිපොළවලවලට පැටව් විශාල ප්‍රමාණයක් අලුතින් එකතු වී තිබෙනවා. ඒ වගේම පසුගිය කාලය තුළ මව්සතුන් ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් රජය විසින් ලබා දුන්නා. අපිට වාර්තා වී තිබෙන ආකරයට ඉදිරි මාස තුන තුළ රටට අවශ්‍ය බිත්තර හා කුකුළු මස් ප්‍රමාණය අපිටම නිපදවා ගැනීමට හැකියි.
ඒ නිසා මෙම වසර අවසන් වනවිට නැවත විදේශ රටවලින් බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් මතු වන්නේ නැහැ. ඒ නිසා ඉදිරි මාස තුන තුළ දැනට මේ රටේ පවතින කුකුළු මස් හා බිත්තර සම්බන්ධව ගැටලුව සම්පූර්ණයෙන්ම විසදෙනු ඇතැයි මම විශ්වාස කරනවා "යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.