ආර්ථිකය අර්බුධය නැවත පදිංචි වූ උතුරේ ජනතාවට දරාගත නොහැකි බැවින් ජනපතිවරයා වහාම ඉවත්විය යුතු බව පවසමින් කිලිනොච්චියේ වැසියෙක් ගෝඨාගෝගම දක්වා පාපැදියෙන් ගමන් කිරීමට පියවර ගෙන ඇත.
කිලිනොච්චිය මයිල්වානපුරම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තිදරු පියෙකු වූ රජරත්නම් ජනකවර්මන් කිලිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයේ සිට ඊයේ (22දා) පාපැදියෙන් කොළඹ ගෝඨා ගෝ ගම දක්වා ගමන් ආරම්භ කල අතර ඊයේ සවස් වන විට වව්නියාවට ලඟා විය.
අනතුරුව අද (23දා) දින වවුනියාවේ සිට අනුරාධපුරය හරහා දින 4 ක් ඇතුලත ගෝඨා ගෝ ගම දක්වා ගමන් කොට රජයට විරෝධය පාමින් ගෝඨා ගෝ ගමට සහය ලබාදීමට මෙම තිදරු පියා විසින් පියවර ගෙන ඇත.
කිලිනොච්චියේ සිට ගමන් ඇරඹු මෙම තිදරු පියා වැඩිදුරටත් පවසා සිටියේ,
‘ මේ වන විට පවතින ආර්ථිකය කිසිසේත්ම උතුරේ නැවත පදිංචි වූ ජනතාවට දරාගත නොහැකියි. ගෑස් නැහැ, ඉන්ධන නැහැ, පොහොර ටික නැහැ, බඩු මිල අහස උසට නැගලා මේ ජනතාව එදා වේල හොයාගන්න දහදුක් විඳිනවා. පාලකයෝ යැයි කියාගත්තු අයට මේ දුප්පත් ජනතාවට කිසිදු වගකීමක් නැහැ මේ පාලනයන් නැවත්විය යුතුයි.
ඒ වගේම යුද්දෙන් අතුරුදහන් වූ ජනතාව වෙනුවෙන්ද කිසිම විසඳුමක් ලැබුනේ නැහැ. යුද්දෙ ඉවර වුනත් දෙමළ ජනතවගේ ඉඩම් ගැටලු තවමත් එලෙසින්මයි මේ වෙනුවෙන් වගකිව යුතු පාලනයක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසයි මම ගෝඨා ගෝ ගමට පාපැදියෙන්ම ගිහින් සහය දක්වන්න හිතුවේ. යනුවෙනි.
ඔහුගේ පාපැදි සවාරියට ගමන්මග සිටින ප්‍රදේශවාසීන්ද මහත් සේ සහය දක්වමින් අවශ්‍ය පහසුකම් සපයා දීමද සිදුවෙයි.


