ඉපැරැණි නටබුන් රාශියක් පිහිටි හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරලාගල පුරා විද්‍යා රක්ෂිතයට මායිම්ව පිහිටි අක්කර දහයකට ආසන්න කැලෑ කොටස කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීහු අද (27දා) පැවසූහ.
මහ දවල් දෙනෝදාහක් බලා සිටියදී වසර සිය ගණනක් පැරණි විශාල ගස් මෙසේ විනාශ කර දමා ඇති බවත් මෙම රක්ෂිතය සම්බන්ධයෙන් කිසිදු වගකිවයුත්තෙකුගේ අවධානය මෙතෙක් යොමු නොවීම බරපතළ සැකයක් මතු කරන කාරණයක් බව ද ප්‍රදේශවාසීහු මෙහිදී පැවසූහ.
හොරොව්පොතාන නගරයේ සිට මැදවච්චිය මාර්ගයේ කිලෝමීටර් හය හමාරක් පමණ ගිය විට කිරළා ගල ඉපැරණි පුරාවිද්‍යා රක්ෂිතය හමුවන අතර එහි ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ පමණ සිට පැවත එන පුරාවිද්‍යා වටිනාකමින් නටඹුන් රාශියක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
අනුරාධපුර පැරණි පූජා නගරයේ පිහිටි කුට්ටම් පොකුණට පමණක් දෙවැනි යැයි සැලකෙන ජල පොකුණක්, ආරාම, චෛත්‍යය නටබුන් බොහෝ ප්‍රමාණයක් මෙම පුරාවිද්‍යා භූමිය පුරා පැතිරී තිබෙන බවත් මෙම වන විනාශය සිදු කොට ඇත්තේ එවැනි වටිනා කමකින් යුත් ඉපැරණි පුරා විද්‍යා රක්ෂිතය ආසන්නයේ බව ඔවුහු පෙන්වා දෙති .
ප්‍රදේශවාසීන් පවසන්නේ හොරොව්පොතාන නගරයේ පිහිටි වන සංරක්ෂණ කාර්යාලයේ සිට නිලධාරියෙකුට මිනිත්තු කිහිපයක් ඇතුලත එම ස්ථානයට පැමිණිය හැකි බවය. එවැනි තත්ත්වයක් තිබියදී අක්කර දහයකට ආසන්න භූමි භාගයක තිබු කැටකාල, මාර, බුරුත වැනි ඉහළ වටිනාකමකින් යුතු, වසර සියයක් පමණ පැරණි විශාල ගස් වලින් සමන්විත මෙම රක්ෂිතය අධික ශබ්ද සහිත යාන්ත්‍රික කියත් භාවිතා කරමින් කපා විනාශ කරද්දී වන නිලධාරින් සිටියේ නිදාගෙන දැයි ජනතාව ප්‍රශ්න කර සිටිති.
මෙම ක්‍රියාවට ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් ඉදිරියේදී පුරා විද්‍යා රක්ෂිතය සම්පූර්ණයෙන්ම එළි පෙහෙළි කර, පුරා විද්‍යා ස්මාරකද විනාශ කිරීමට ඉඩ ඇති බැවින් වග කිවයුතු ඉහළ නිලධාරීන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර සිද්ධිය දැන දැනත් නිහඬව සිටි අදාළ නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් අවට ගම්වාසීහු වැඩි දුරටත් ඉල්ලා සිටිති.
මෙම චෝදනාව සම්බන්ධයෙන් අප කහටගස්දිගිලිය අඩවි වන නිලධාරී නිර්මල වන්නිනායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, එම වන විනාශය සිව් දෙනෙකු විසින් රාත්‍රි කාලයේ සහ උදැසන සිදු කොට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඉන් එක් අයෙකු යාන්ත්‍රික කියතක් ද සමඟ ඉකුත්දා අත්අඩංගුවට ගත් බවත් ය.
හොරොව්පොතාන වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වන විනාශය පිළිබඳව දැන දැනත් නීතිය ක්‍රියාත්මක නොකර සිටියේ ඇයි දැයි අප කළ විමසීමේදී අඩවි වන නිලධාරි වරයා මෙසේ කීය.
එම නිලධාරීන්ගෙන් රාජකාරිමය වශයෙන් අඩු පාඩුවක් සිදුවී ඇති බවට මා පිළි ගන්නවා. ඒ සම්බන්ධයෙන් මා වහා ක්‍රියාත්මක වී, දිසා වන නිලධාරියා හට දැනුම් දී තිබෙනවා.

