කැළණියේ වෙඩි තැබීමකින් පියා මරුට අවු. 2ක දරුවාට තුවාල
කැලණිය පට්ටිය හංදිය ප්‍රදේශයේදී අද (26දා) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක් හා අවුරුදු දෙකක කුඩා දරුවෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 31 ක් වන වේයන්ගොඩ පදිංචිකරුවෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය බිරිඳ හා කුඩා දරුවා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණ ඇති නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
වෙඩි වැදුණු කාන්තාව මාර්ගයේ ගමන් ගත් අයෙකු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මියගිය පුද්ගලයාගේ බිරිඳට වෙඩි වැදුණේ ද නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
තුවාල ලද කුඩා දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලද අනෙක් කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

