මෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙරට කැසිනෝ කර්මාන්තය නියාමනට සඳහා 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මගින් විධිවිධාන පනවා තිබේ.
එම පනතේ විධිවිධාන බලාත්මක කිරීමට අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොතිබීම හේතුවෙන් මේ දක්වා එම පනත යටතේ කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට බලපත්‍ර නිකුත් කර නොමැත.
කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි බදු අයකරගැනීමට අපහසු වී ඇතැයි ද මේ සම්බන්ධයෙන් අගමැතිවරයා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ සඳහන් වේ.
එබැවින් එවැනි ව්‍යාපාර නියාමනය කිරීමේ සහ රජයට අය විය යුතු බදු නියමිත පරිදි අයකරගැනීමේ අරමුණින් 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීමටත් පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.