නොසිතන අයුරින් දිනෙන් දින ඉහළ යන එළවළු මිල හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල්, හෝටල්, ආපනශාලා පවත්වාගෙන යන පිරිස් හා සෙසු ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටිති.
එළවළු සඳහා ඉතිහාසයේ මෙවැනි මිලක් අන් කවරදාවත් නොතිබුණු බවත්, උඩරට එළවළු වර්ග හා විදෙස් සංචාරකයන් බහුලව භාවිතා කරනු ලබන එළවළු වර්ගවල මිල ගණන් මෙසේ ඉහල යාම හේතුවෙන් තම ව්‍යාපාර කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ඔවුහු පවසති.
මේ වනවිට නුවරඑළියයේ වැවෙන උඩරට එළවළු වර්ගවල මිල ඉතිහාසයේ පළමු වරට මෙසේ ඉහල ගොස් ඇතැයිද, මේ හේතුවෙන් එළවළු නොකා සිටින තත්ත්වයකට තමන් පත්ව සිටින බව උඩරට ජනතාව පවසති.
උඩරට එළවළු වර්ග වන කැරට් කිලෝවක් රුපියල් 1800 ක්, ගෝවා කිලෝවක් රුපියල් 680 ක්, ලීක්ස් කිලෝවක් රුපියල් 500 ක්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 650 ක්, තක්කාලි කිලෝවක් රුපියල් 800 ක්, බීට්රූට් කිලෝවක් රුපියල් 470 ක් වැනි මිළකටත්, විදෙස් සංචාරකයන්ට බහුලව ලබා දෙන බ්‍රොකලි කිලෝවක් රුපියල් 3600 ක්, බෙල් පෙපර් කිලෝවක් රුපියල් 800 ක්, බැසිල් කිලෝවක් රුපියල් 2600 ක්, චයිනිස් කැබෙජ් කිලෝවක් රුපියල් 1300 ක්, රෙඩ් කැබෙජ් කිලෝවක් රුපියල් 3200 ක්, අයිස්බර්ග් කිලෝවක් රුපියල් 2300 ක්, සළාද කිලෝවක් රුපියල් 1600 ක්, මල් ගෝවා කිලෝවක් රුපියල් 1300 ක් වැනි තොල මිලකට ඊයේ (16) නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අළෙවි කෙරිණි.
එළවළු මිල ගණන් මෙසේ ඉහලයාම හේතුවෙන් උඩරට සිල්ලර එළවළු වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවත්, මාර්ග අවට එළවළු අළෙවි කරමින් ජීවිකාව රැගෙන ගිය විශාල පිරිසක් දැඩි අපහසුතාවයට ලක්ව දැඩි ආර්ථික පීඩාවට පත්ව සිටින බව උඩරට එළවළු වෙළෙඳසැල් හිමියෝ පවසති.