කූඨ ලෙස සකස් කළ කැනේඩියානු වීසා බලපත්රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ කැනඩාවට පළා යාමට තැත් කළ ශ්රී ලාංකිකයෙකු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් 11/16 දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 37 හැවිරිදි මඩකලපුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. මොහු 11/16 දින උදෑසන 08.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු සිය නිශ්කාශන කටයුතු සදහා ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ කැනේඩියානු වීසා බලපත්රය පිළිබඳව සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් , ඔහු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී මෙම වීසා බලපත්රය කූඨ ලෙස සකස් කළ එකක් බවට තහවුරු වී තිබේ .
ඉන්පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , ඔහුගෙන් සිදු කළ ප්රශ්න කිරීම් වලදී ඔහු රුපියල් ලක්ෂ 30 ක් තැරැව්කරුවෙකුට ලබා දී මෙම වීසා බලපත්රය සකස් කරවා ගත් බවත් , ඔහු කැනඩාවට ගිය පසු තවත් රුපියල් ලක්ෂ 30 ක් ගෙවීමට එකග වී ඇති බවත් අනාවරණය කළේය .
එයින් පසු මෙසේ අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .