කාසිකොටේ අලි උමගේ වැඩ අරඹයි
කාසිකොටේ අලි උමං මාර්ගයේ වැඩකටයුතු නැවත ආරම්භ වූ අතර මේ පිළිබඳ වත්මන් තත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
මහව - ඕමන්තේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය 2016 වසරේ ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියේ ඇගයීම සිදු කරන ලද්දේ ප්‍රධාන වශයෙන් දුම්රිය සේවයට ලැබෙන ප්රතිලාභ සහ ආර්ථික ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරමින් සකස් කරන ලද සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් මත පදනම්වය.
දුම්රිය මාර්ගය දැනටමත් පවතින එකක් වීමත්, ආයෝජනය සිදු කරන ලද්දේ පවතින මාර්ගයම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වීමත් නිසා මේ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හෝ පාරිසරික බලපෑම් ඇගයීමක් (EIA) සිදු කර නොතිබුණි.
පාරිසරික බලපෑම් ඇගයීමක් හෝ ශක්‍යතා අධ්‍යයනයක් නොතිබීම හේතුවෙන් ව්‍යාපෘති ඇගයීමේ අදියරේදී අඹන්පොළ සහ ගල්ගමුව අතර පවතින අලි මාරුවීම පිළිබඳව ද සලකා බලා නොතිබුණ බැවින් එම ව්‍යාපෘතියේ වැඩකටයුතු අතරමඟ නවතා දමා තිබුණි.
අදාළ ස්ථානයේ ශීඝ්‍රයෙන් වර්ධනය වූ අලි මාරුවීම් හේතුවෙන් පරිසර ක්‍රියාකාරීන්ගේ සහ මහජනතාවගේ දැඩි ඉල්ලීම මත නවතා තිබූ ගල්ගමුව සහ අඹන්පොළ අතර පිහිටි "කාසිකොටේ" ප්‍රදේශයේ අලි උමං මාර්ගයක් ඉදිකිරීමට තීරණය විය.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් මේ පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් පත් කර අලි උමඟේ කටයුතු නැවතත් ආරම්භ කිරීම සඳහා කටයුතු කරන ලදී.
ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශයේ, පරිසර අමාත්‍යාංශයේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන් 2025 මැයි 18 වන දින එම ස්ථානයේ සිදු කරන ලද නිරීක්ෂණයකින් පසුව නව උමඟේ ගැටලු කිහිපයක් හඳුනාගත් අතර ඒවාට පිළියම් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන ලදී.
අලි උමග සහ ගමනාගමන මාර්ගය අතර බාධකයක්ව පවතින අධි වෝල්ටීයතා විදුලි රැහැන ඉවත් කළ යුතු බවටත්, දුම්රිය මාර්ගය සහ මහා මාර්ගය අතර නිසි බෑවුමක් පවත්වා ගත යුතු අතර එවිට මාර්ගය හරහා යන අලින් සෘජුවම මහා මාර්ගයට පිවිසීම වැළක්වෙන බවටත් උමං මාර්ගය තුළ ජලය රැඳීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිසි බෑවුම් කාණුවක් සකස් කළ යුතු බවටත්, මාර්ගයේ ගමනාගමනයට සහ අලි මාරුවීමට බාධාවක් නොවන පරිදි මෙන්ම, රථවාහන සහ අලි ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි සුදුසු මාර්ග සංඥා ස්ථාපනය කළ යුතු බවටත් කරුණු දක්වමින් පරිසර අමාත්‍ය පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මැතිතුමාගේ මූලිකත්වයෙන් පරිසර අමාත්‍යංශය විසින් උපදෙස් ලබා දෙන ලදී.
ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු කමිටුවේ තීරණ පරිදි දුම්රිය රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද දුම්රිය මාර්ග දෙපස සංඥා පුවරු 147 ක් සවි කිරීමේ කටයුතු ද සිදු කරන ලදී. පවතින ගැටලුව වන්නේ මෙම ව්‍යාපෘතියේ කිසිදු පාරිසරික තක්සේරු වාර්තාවක් හෝ මූලික අධ්‍යයනයක් හෝ සිදු කර නොමැති වීමත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයක් හෝ ඒ පිළිබඳව කිසිදු දැනුවත් කිරීමක් හෝ තක්සේරුවක් සිදු නොකොට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමයි.
එබැවින් මෙම අලි උමගෙන් අලින් ගමන් කරයි ද යන්න පිළිබඳ නිශ්චිත බවක් නොවන අතර මෙම අලි උමඟ සාමාන්‍ය දුම්රිය මාර්ගයෙන් අඩි 6 ක් පමණ පහළින් තිබෙන බැවින් එයට බෑවුමක් (slope) නිර්මාණය කිරීමේ සහ දුම්රිය මාර්ගය සහ ගමනාගමන මාර්ගය අතර ඇති විදුලි රැහැන ඉවත් කිරීමේ අවශ්‍යතාවක් ද පවතින බව හඳුනාගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

