බත්තරමුල්ල නගරයට බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල කඩුවෙල මාර්ගයට ආසන්නයෙන් හදුනාගෙන ඇති ඉඩම කඩිනමින් නිදහස් කරදෙන ලෙස බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා අද (25) අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
නාගරික සංවර්ධන අධිකාරිය සතු මෙම ඉඩම මේවන විට තාවකාලිකව ආරක්ෂක අංශ භාවිත කරන බැවින් ආරක්ෂක ලේකම්වරයාට මේ පිළිබදව දන්වා ඉඩම නිදහස් කරගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙසත්, මාසයක් ඇතුළත මේ පිළිබඳව කාරක සභාවට දන්වන ලෙසත් කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.
බත්තරමුල්ල ප්‍රදේශය පරිපාලන නගරය බවට පත්වී වසර 40 ක කාලයක් ගතව ඇතත් තවමත් බස් පර්යන්තයක් නොමැතිවීම බරපතල ගැටලුවක් බව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව මේ සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි.
ජාතික ප්‍රවාහන කොමිසම මගින් ඉදිරිපත් කළ ගැටලුවලට විසදුම් ලබා දීම සදහා බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (25) පාර්ලිමේන්තුවේදි රැස්වූ අතර ප්‍රවාහන අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ප්‍රවාහන කොමිසම, කොළඹ මහ නගර සභාව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය ඇතුළු ආයතන කැඳවා තිබිණි.
කොළඹ ප්‍රධාන බස්නැවතුමේ බස් රථ, ඊළග ගමන් වාරය එනතුරු නවතා තැබීමට කොළඹ කොටුව පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වලින් කොටසක් තාවකාලිකව නිදහස් කිරීමටද මෙහිදී එකඟත්වය පළ විය. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම අක්කරයක පමණ වපසරියකින් යුතු බවත් මෙහිදී අනාවරණය විය. එසේම පැරණි මැනින් වෙළදපොළ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම අක්කර පහකින් යුතු බවත් ඉන් අක්කර දෙකක් තාවකාලිකව නිදහස් කිරීමටත් මෙහිදී අදාළ පාර්ශව එකඟ විය. මේ අනුව කඩිනමින් මේ සම්බන්ධව කටයුතු කොට සතියක් තුළ මෙහි ප්‍රගතිය කමිටුව වාර්තා කරන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටගොඩ මහතා අදාළ අංශවලට දැනුම් දුන්නේය.
ඉලෙක්ට්‍රොනික ටිකට්පත් සේවය ඇති කිරීම, GPS තාක්ෂණය බස්රථ සදහා හදුන්වා දීම, පෞද්ගලික මගී ප්‍රවාහන සේවාවල ගුණාත්මක බව වැඩි කිරීම ඇතුළු කරුණු කාරනා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
කාසි සහ නෝට්ටු භාවිතය නිසා දිනකට බස්රථවල රු. බිලියනයකට ආසන්න මුදලක් දෛනිකව සංසරණය වන බවත්, මහබැංකුවේද සහය ඇතිව නූතන ඉලෙක්ට්‍රොනික ටිකට්පත් සේවාව කඩිනමින් ආරම්භ කළ යුතු බවත් මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධව අවධානය යොමු කිරීමටත් මෙහිදී තීරණය විය.