කාවන්තිස්සගේ මරණය ගැන රජය දැඩි කම්පාවට පත්වෙනවා
කාවන්තිස්ස හස්තියාගේ අවාසනාවන්ත වියෝව පිළිබඳව රජය දැඩි කම්පාවට පත්වන බවත්, මෙවැනි පාරිසරික අපරාධ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව පරිසර නීතිය තරාතිරම නොබලා තදින්ම ක්රියාත්මක කරන බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළාය.
පරිසර අමාත්යාංශය යටතේ ක්රියාත්මක මධ්යම පරිසර අධිකාරිය මගින් 11 වන වරටත්, කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (19) සංවිධානය කරන ලද "ජනාධිපති පරිසර සම්මාන 2026" සම්මාන ප්රදානෝත්සවය අමතමින් අග්රාමාත්යතුමිය මේ බව සඳහන් කළාය.
"කාවන්තිස්ස හස්තියාගෙන් පසු යළි මෙවැනි ඛේදවාචක සිදු වෙන්න ඉඩ දෙන්න බැහැ, තනතුර, ධනය හෝ බලපෑම් මත පරිසර නීතිය වෙනස් වෙන්නේ නැහැ, සියලු දෙනාට සමානව පරිසර නීතිය ක්රියාත්මක කරනවා. බලපත්ර නිකුත් කිරීමේ සිට ව්යාපෘති අනුමත කිරීම දක්වා සියලු දේ විද්යාත්මක සාක්ෂි සහ පූර්ණ විනිවිදභාවයකින් සිදුවිය යුතුයි. පරිසරය විනාශ කර සිදුකරන සංවර්ධනයක් කිසිසේත්ම තිරසාර සංවර්ධනයක් නෙමෙයි.
කාවන්තිස්ස හස්තියා බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සහ පශු වෛද්ය කණ්ඩායම් දැඩි වෙහෙසක් දැරුවා නමුත් තුවාල සහ ආසාදන තත්ත්වය නිසා එම හස්තියා බේරා ගැනීමට නොහැකි වුණා. කාවන්තිස්ස හස්තියාගේ වියෝව පිළිබඳව රජය දැඩි කම්පාවට පත්වෙනවා. අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා වනසතුන්ට වෛද්ය ප්රතිකාර ලබාදීමේ වැඩපිළිවෙල සහ පශු වෛද්ය අධ්යාපනය තවදුරටත් ශක්තිමත් කරනවා.
දිගුකාලීන අලි-මිනිස් ගැටුම කළමනාකරණය සඳහා රජය දැනටමත් ගෙන ඇති ප්රායෝගික පියවර රැසක් අරාගන තිබෙනවා. ඒ අනුව වනාන්තර 113ක් රක්ෂිත බවට පත් කරමින් හෙක්ටයාර 71,900ක් (අක්කර 180,000ක්) ආරක්ෂිත භූමි බවට පත් කර ඇති අතර, සතුන්ගේ නිදහස් සංචරණය සඳහා අලිමංකඩ 3ක් සහ අලි කළමනාකරණය සඳහාම වෙන් වූ රක්ෂිතයක් ස්ථාපිත කරමින් පවතිනවා. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්ර කටයුතු ශක්තිමත් කිරීමට කැබ් රථ 100ක්, බයිසිකල් 185ක් සහ ට්රැක්ටර් 9ක් ලබා දී ඇති අතර, අලි වැට නඩත්තුව සඳහා අලි වැට සහායකයින් 3,500ක් සහ සිවිල් ආරක්ෂක බලකායේ 5,000ක් යොදවා තිබෙනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

