කාර්මික දෝෂයක් හේතුවෙන් තලෛයිමන්නාරමට උතුරින් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට ගසා ගෙන පැමිණ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ධීවරයින් 06 දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, එම ධීවරයින් වෙත මානුෂීය ආධාර ලබා දී වෙනත් ඉන්දීය ධිවර යාත්‍රාවක් වෙත අන්තර්ජාතික මුහුදු සීමාවේදී භාරදීමට ශ්‍රි ලංකා නාවික හමුදාව ඊයේ (31දා) කටයුතු කළේය.
ඒ අනුව, ශ්‍රි ලංකා නාවික නෞකා රණජය නෞකාව, තලෛයිමන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ ඊයේ (31දා) මුර සංචාරයේ යෙදී සිටියදි, ශ්‍රි ලංකාවට අයත් මුහුදු සීමාව තුළ පාවෙමින් තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නිරීක්ෂණය කරන ලදි.
එහිදි සිදුකල පරීක්ෂාවේදි එම ට්‍රෝලර් යාත්‍රාවේ එංජින් යන්ත්‍රයේ ඇතිව තිබූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාව මෙරට මුහුදු සීමාව වෙත ගසා ගෙනවිත් පැමිණ ඇති බව අනාවරණය විය. ඒ අනුව, එම යාත්‍රාවේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් 06 දෙනා මෙලෙස මුදවා ගැනීමට ශ්‍රි ලංකා නාවික හමුදාව කටයුතු කල අතර, කඩිනමින් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන, මූලික අවශ්‍යතා ඇතුළු මානුෂීය ආධාර ලබා දීමට කටයුතු කරන ලදි.
තවද, ශ්‍රි ලංකා නාවික නෞකා රණජය නෞකාව විසින් එම ආපදාවට පත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ ධීවරයින් 06 දෙනා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පිහිටි අන්තර්ජාතික මුහුදු සීමාව වෙත රැගෙන ගොස් වෙනත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් වෙත භාරදී, අතරමංව සිටි ඉන්දීය ධීවරයින් වෙත ආරක්ෂිතව නැවතත් ඉන්දියාව වෙත යාමට අවශ්‍ය කටයුතු සලසන ලදි.