මහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ලද අක්කර හැට දහසකට ආසන්න කුඹුරු බිම් ප්‍රමාණයකින් ලක්ෂ තුන්සියයකට ආසන්න වී කිලෝ ප්‍රමාණයක් අහිමි වී ඇති බව මහවැලි බී කලාපීය ගොවි ව්‍යාපාර කමිටුවේ හිටපු ප්‍රධාන ලේකම් සරත් රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව වී කිලෝවකට සමස්ථයක් ලෙස රුපියල් 90 ක මුදලක් හිමි වුවහොත් වී කිලෝ ලක්ෂ 300 ට මහවැලි බී කලාපයේ ගොවි පවුල් 25,000 ට මෙවර මහ කන්නයේ වී වගාවෙන් පාඩුවන මුදල රුපියල් ලක්ෂ 2700 ක් පමණ වන බව ද සරත් රාජපක්ෂ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
රසායනික පොහොර භාවිතයෙන් මීට පෙර කන්වලදී ගොවියෙකු අක්කර දෙකහමාරක කුඹුරකින් වි කිලෝ 6000,7000 යන ප්‍රමාණයන් ලබා ගත්ත ද මෙවර කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ලද ගොවියෙකුට එම කුඹුරකින් ලබාගැනීමට සිදුව ඇත්තේ වී කිලෝ 2000 කට අඩු ප්‍රමාණයක් බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.අරලගංවිල විජයබාපුර කොට්ටාශයේ අද (28දා) ගොවි නියෝජිතයන් සමඟ පැවති සාකච්චාවකදී රාජපක්ෂ මහතා ඒ බව අනාවරණය කළේය.
මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශවලින් මෙවර මහ කන්නයේ මහවැලි බී කලාපයේ ගොවි පවුල් 25,000 ට ආසන්න පිරිසක් අක්කර 62,500ක් පමණ වී වගා කර තිබෙන අතර ඔවුන් මෙවර කාබනික පොහොර භාවිතයෙන් වි වගා කිරීමෙන් එක් ගොවියකු මුදලින් රුපියල් තුන්ලක්ෂ හැටදාහක මුදලක් පාඩුවක් දැරීමට සිදුව ඇති බවත්, කාබනික පොහොර භාවිතය නිසා මහවැලි බී කලාපයේ ගොවියෙකුට අක්කර දෙකහමාරකින් වී කිලෝ හාරදාහක ප්‍රමාණයක් අහිමි වී ඇති බවද රාජපක්ෂ මහතා කීවේය.
ඒ අනුව රජය ගොවියකු වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් ලක්ෂයක් ලබා දීම ප්‍රමාණවත් නොවන බවත්, පවතින තත්ත්වය මත අවම අක්කරයකට ලක්ෂ දෙකක වන්දියක්වත් ලබා දිය යුතු බවද සඳහන් කළේය.
මෙවර මහ කන්නයේ ගොවියාට අත් වු ඉරණම සලකා බලා එළඹෙන යල කන්නයේදීවත් ගොවියාට කාබනික පොහොර වෙනුවට රසායනික පොහොර ලබාදිය යුතු බවත්, රජය හිතුවක්කාරි ක්‍රියාවන් අනුව යල කන්නයේ ත් කාබනික පොහොර ලබාදීමට ක්‍රියා කළහොත් මහවැලි බී කලාපයේ ගොවීන් යල කන්නයේ වී වගාවෙන් ඈත්වීමට තීරණය කර ඇති බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
අරලගංවිල ප්‍රසන්න අබේවික්‍රම

