ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පතේ ප්‍රගතිය අදාළ පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සමාලෝචනය විය.
එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිතයා විසින් පනත් කෙටුම්පත පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.
එහිදී සංසදයේ සභාපති (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පනත් කෙටුම්පත්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටියාය.
ඒ අනුව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පිහිටුවන ලදී. මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න, ආචාර්ය රෝස් විජේසේකර, ආචාර්ය රමණි ජයසුන්දර, ආචාර්ය විජය ජයතිලක, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක සහ උදේනි තෙවරප්පෙරුම යන මහත්ම මහත්මීන්ගෙන් කමිටුව සමන්විත වේ.