නිදහසින් පසු රටේ පවතින දූෂිත ක්රමයේ වැරැද්ද පෙන්වනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සිදුවී එය යටපත් කිරීමට ගත් උත්සාහය නිසා බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.
ඒ අනුව රට තුල පවතින ක්‍රමය වෙනස් විය යුතු බවත්, ශ්‍රී ලංකාව නව ගමනක් වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය ශක්තිය මෙරට මිනිස්සුන්ට ලබා දෙන ලෙස යාඥා කරන බවත් අද (01දා) ඉතාලියේ පාදුවා නුවර ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ දී සිංහල බසින් පැවති දිව්‍ය පූජාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මේ අතර මැතිවරණය ජයග්‍රහණය කිරීම පාස්කු ප්‍රහාර ප්‍රහාරය පිටුපස තිබුණු චේතනාව බවත් එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බලයේ සිටි ජනාධිපති ඇතුලු ඉහළ නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ භාරව සිටි නිලධාරීන් ඕනෑකමින් සිය වගකීම් පැහැර හැරි බවත් කාදිනල් හිමිපාණන් එහිදී පැවසීහ.
ඒ අනුව මෙම ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක්, පිහිටක් ශ්‍රී ලංකාව තුල නොලැබෙන බැවින් එම ගැටලුව ජාත්‍යන්තරයට ගෙන ඒමට කටයුතු කළ බවත් සඳහන් කළ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
“අපි අවුරුදු 03ක් යුක්තිය ඉල්ලුවා. මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ කවුද කියල හරියටම හොයලා බලන්න කියලා කිව්වා. මේ ප්‍රහාරය සම්බන්ධව බොහෝ දෙනෙක් දැනගෙන ඉදලා තිබෙනවා. අපි විතරයි දන්නේ නැත්තේ. බල කාමය නිසා, බලය අතට ගන්න කෑදරකම නිසා ගැටුමක් කිව්වා. එදා හිටපු ජනාධිපතිතුමාගේ සිට ලොකුම නිලධාරීනුත් ආරක්ෂක අංශ භාරව හිටපු නිලධාරීන් තමන්ගේ වගකීම් පැහැර හරියා.
ඒක ඕනෑකමින් කළා ඡන්දේ දිනාගන්න ඕනි නිසා. ඡන්දේ දිනන්න ඕන කම තිබුණා. ඒක තමයි මේක පිටුපස තිබුණු චේතනාව. අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා කියලා කියන්න ඕන කම තිබුණා ඔවුන්ට. ඒක තමයි ඒ දේ කළේ. එහෙම නැතිනම් අපිට කියන්න තිබුණානේ දැනගෙන හිටපු අය මෙහෙම දෙයක් වෙන්න යනවා ආරක්ෂා වෙන්න කියලා. ඒත් ඒ අය අතර ලියුමක් හුවමාරු කරගෙන නිලධාරීන්, දේශපාලඥයෝ ආරක්ෂා වුණා. අහිංසක මිනිසුන්ව බිලි දුන්නා.
අවුරුදු 75ක් තිස්සේ දූෂණය රජ කෙරෙව්වා රටේ. නීතිය සම්පූර්ණයෙන්ම වල් වදින්න සැලැස්සුවා. දැන් මේ රට වෙනස් වෙන්න ඕනී. මේ පාස්කු ප්‍රහාරයෙන් තමයි දූෂිත ක්රමයේ වැරැද්ද අපිට පෙන්නුවේ. ඒ දූෂිත ක්රමයේ වැරැද්ද අපි දුටුවේ පාස්කු ප්‍රහාරය සිදුවෙලා ඒක යට ගහන්න දරපු උත්සාහය තුලින්. අදත් ඒක කරගෙන යන්න බලනවා. දෙන්නෙකුට විරුද්දව නඩු දැම්මා. ඒක නඩුව දියාරු කර හැරියා. දියාරු කරලා ඒ දෙන්නව නිදහස් කරන්න කටයුතු කරා.”
