ක්රිකට් කණ්ඩායම තරුණ පිරිසකට ලබා දුන් ආකාරයෙන් මෙරට දේශපාලනය තරුණ කණ්ඩායමකට ලබා දීමට කටයුතු කරන ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පැවසීය.
‘ශ්රී ලංකාවේ ළමයින් හා මව්වරුන් අතර මන්දපෝෂණය’ පිළිබඳ දෙවන දිනටත් අද (07දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා,
ඊයේ දවසේ ඉතාම විශිෂ්ඨ ජයග්රහණයක් ශ්රී ලංකාවට හිමිකරලා දුන්නා. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට සුබ පතනවා. ඒ වගේම ආසියානු කුසලානය මේ රටට දිනාගන්න ශක්තිය, හැකියාව ලැබේවා කියලත් ප්රාර්ථනා කරනවා. විශේෂයෙන්ම තරුණ ක්රිකට් කණ්ඩායමක් මේ රටේ ක්රිකට් බොහොම ඉදිරියට අරගෙන යනවා අපිට පේනවා. ඒ වගේම තමයි මේ රටේ දේශපාලනයත් තරුණ පිරිසකට භාර දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ තරුණ පිරිසට තමයි පුලුවන් වෙනස් විදියේ අලුත් ගමනක් ඉදිරියට යන්න. ක්රිකට් කණ්ඩායම වගේම දේශපාලනයත් තරුණ කණ්ඩායමකට භාර දෙන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ලංකාවේ දේශපාලඥයන්ට වඩා ජනතාව දන්නවා මේ ආර්ථික අර්බුදයට කවුද වගකියන්න ඔ්නී කියලා. මේ දේවල් වලට වගකිවයුතු පුද්ගලයන්, මේ ලංකාවේ මිනිස්සුන්ට මන්දපෝෂණය එන තත්ත්වයට කටයුතු කළ පුද්ගලයන් නැවත වාරයක් අලුත් දේශපාලන නාට්යක් පටන් අරන් තිබෙනවා. මේ දේශපාලන අර්බුදය ඇති කරන්න ප්රධාන වශයෙන් පෙළ ගැහිලා ඉන්න අය අලුතින් පක්ෂයක් පටන් අරන් තිබෙනවා උත්තර ලංකා සභාගය කියලා. හොඳට තියෙයි. මේ සෙට් එකම මේවට වග කියන්න ඔ්නී. එතන ඉදිරිපෙල හිටපු නායකයා මොකක්ද කිව්වේ? මහාතීර් මොහොමඩුයි, ලීක්වාන්යුයි ඇවිල්ලා රට හදනවා කියලා කිව්වා. දැන් කියනවා නායකයා විවේකීව ඔහුගේ මුණුබුරත් එක්ක ඉන්න ගිහින් තමයි මේ තත්ත්වය ඇති වුණේ කියලා. මම ඒකයි කියන්නේ ක්රිකට් කණ්ඩායම තරුණ පිරිසකට දුන්නා වගේ මේ දේශපාලනයත් තරුණ පිරිසකට භාර දෙන්න. මේ වගේ ඩ්රාමා කාරයෝ නැවත වාරයක් ලංකාවේ ජනතාව විශ්වාස කරන්න එපා. යනුවෙන් සඳහන් කළේය.