ජනාධිපතිවරයා මේ දක්වා ගත්ත සෑම තීන්දුවක්ම නිවැරදි යැයි තමන් ඇතුළු පක්ෂය අනුමත නොකරන බවත්, ඒ තීන්දු තීරණවලින් රටේ වෙනසක් හෝ රට තිබෙන අර්බුදවලින් ගොඩගන්න පුළුවන් යැයි තවම අපට පෙනීගොස් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ, ඊයේ (12දා) කැලණියේ පිහිටි තම පක්ෂ කාර්යාලයේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,
"ජනාධිපතිතුමා පරිණත දේශපාලනඥ‘යෙක්. එතුමා ගත්ත සෑම තීන්දුවක්ම හරියි කියලා අනුමත කරන්න බැහැ. හරි තීන්දු ගත්තොත් අපට සහාය දෙන්න පුළුවන්. නමුත් මෙතෙක්දුරට ගත්ත තීන්දු තීරණවලින් මේ රටේ වෙනසක් හෝ රටේ තිබෙන අර්බුදවලින් ගොඩගන්න පුළුවන් කියලා අපට නම් දැනිලා නැහැ.
මේ රටේ සංචාරක කර්මාන්තය නංවන්න අවශ්‍යයි. නමුත් ඒකට අතන මෙතන තිබෙන පැරණි ගොඩනැගිලි අරගෙන සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරන්න බැහැ. තේරුමක් ඇති දේවල් කරන්න ඕන. මේ රටේ වටිනා ගොඩනැගිලි හුඟාක් තිබෙනවා. ඒවා දුන්න කියලා සංචාරකයෝ එන්නේ නැහැ. රාජ්‍ය අනුග්‍රහය ඇතිව අවශ්‍ය තැන්වලට මුදල් යොදවලා අවශ්‍ය දේ කළ යුතුයි.
ක්‍රිකට් සභාපති ක්‍රිකට් ගැහුවද ඇට බෝල ගැහුවද කියලා අපි දන්නේ නැහැ. එයා සභාපති වුණාට පස්සේ ක්‍රිකට් කඩාවැටුණා කියලා අපට දැනුණා. ක්‍රිකට්, ව්‍යාපාරයක් කරගෙන තිබෙනවා. ක්‍රිකට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පවුල් පිටින් විදේශ සංචාර යනවා අපි දකිනවා. ඩොලර් ගණන් පඩි ගෙවනවා. මේ රටට ඒවා දරාගන්න බැහැ. ක්‍රිකට් තිබෙන්නේ එක එක අයගේ අවශ්‍යතා සපුරාගන්න නෙවෙයි.
ක්‍රිකට් තහනම අවුරුදු පහක් ගියත් කමක් නැහැ. මෙය සම්පූර්ණ නවත්තලා හරි අවුරුදු පහ ඇතුළත මෙය ක්‍රමානුකූලව ගොඩනගන්න ඕන. ව්‍යාපාරිකයෝ මේවට රිංගාගෙන ඉන්නවා රටපුරා පිට්ටනියක් නැති ක්‍රිකට් සංගම් තිබෙනවා. ඒ අයගේ ඡන්දේ පිහිටෙන් ඕක ඇතුළට රිංගලා ඉන්නවා.
මම මේ අවස්ථාවේ ඉන්නේ ඇමතිතුමාගේ පැත්තේ. ඇමතිතුමා යම් යම් තීන්දු ගන්නවා. ඒවා ඔක්කොම හරියි කියනවා නෙවේ. නමුත් ඇමතිතුමාට උනන්දුවක් තිබෙනවා. ක්‍රිකට් ගොඩගැනීමට කටයුතු කරනවා පේනවා. ඒ නිසා මම එයට සහයෝගය ලබාදෙනවා. ක්‍රිකට්වලට හානිය වෙලා ඉවරයි. ඒ නිසා අත ගගා ඉඳලා වැඩක් නැහැ. දැන් ක්‍රිකට් මැච් එකක් බලන්නත් ලැජ්ජයි කියන තත්ත්වයට වැටිලා. පසුගිය දිනවල ක්‍රීඩකයෝ කියන කතා ඇහුණා ඒ නිසා ක්‍රිකට් සුද්ධ කළ යුතුයි. බඩ සුද්ධ වෙන්න එඬෙරු තෙල් ගැලුමක් විතර දෙන්න ඕන" යැයි පවසා සිටියේය.
කැලණිය - ලාල් එස්. කුමාර