කළුතර මහ නගර සභාවේ නගරාධිපති තනතුරට ජාතික ජන බලවේගයේ ධනුජ හෙට්ටිආරච්චි මහතා 17 - 13 ක් වශයෙන් ඡන්ද ලබාගෙන තේරී පත්විය.
ඒ අද කළුතර මහ නගර සභාවේ නව පොදු වෙළෙඳ සංකීර්ණ රැස්වීම් ශාලාවේදී සිදුකල ඡන්ද විමසිමෙන් පසුවය. බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් එය සිදුකරන ලදී.
කළුතර මහ නගරාධිපති තණතුර සදහා සජබ මන්ත්‍රී වීරසිංහ සුමිත් අර්ඩ්ලි ද සිල්වා සහ ජාජබ මන්ත්‍රී එස් එච් ඩී එන් සෝමරත්න යන මන්ත්‍රී වරුන් ගේ නම් යෝජනා වීය. ඒ අනුව රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද යන්න සම්බන්ධයෙන් බස්නාහිර පළාත් කොමසාරිස් තුමිය විමසීමෙන් පසු සභාවේ ගාලගෝට්ටිය ඇරඹින.
ඒ අනුව මන්ත්‍රීවරුන් කෑකෝ ගසමින් හැසිරුන අතර, එක් අවස්ථාවක බස්නාහිර පළාත් කොමසාරිස් වරිය වටකරගන්නා අයුරුද දැකගත හැකිවිය .
සභාව ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබීමෙන් පසු කොමසාරිස් වරිය සභාව විනාඩි 10 කට කල් තබන ලදී.
ඉන්පසුව නැවත සභාව රැස්වී රහස් ඡන්දයක් ? විවෘත ඡන්දයක්ද ? යන්න සම්බන්ධයෙන් බස්නාහිර පළාත් කොමසාරිස් වරිය ඉදිරියේ ඡන්දය විමසන ලදී.
එහිදී රහස් ඡන්දයක් පැවැත්වීමට ඡන්ද 16 ක් සහ විවෘත ඡන්දයක් පැවැත්වීමට ඡන්ද 14 ක් ලබාදී ඇති බව බස්නාහිර පළාත් කොමසාරිස් වරිය සභාවට දන්වන ලදී. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබුණි.
ඉන් පසු පැවති රහස් ඡන්දයේදී සජබ සුමිත් ආර්ඩ්ලි සිල්වා මන්ත්‍රී වරයා ඡන්ද 13 ක් ලබාගෙන ඇති බවත් ධනුජ සෝමරත්න මහතා ඡන්ද 17 ක් ලබාගෙන ඇති බවත්, එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී ඇති බවත් කොමසාරිස් වරිය සභාවට දන්වන ලදී.
ඒ අනුව කළුතර නගරාධිපති තනතුරට ජාජබ ධනූජ සෝමරත්න මහතා පත්විය.
ඉන්පසු නියෝජ්‍ය නගරාධිපති තනතුරට මුස්ලිම් කොන්ග්රස් මන්ත්‍රී අමීර් නසීර් සහ ස්වාධීන මන්ත්‍රී සුකුමාල් පෙරේරා මන්ත්‍රී වරයා ගේ නම් යෝජනා විය. එයද රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක් යන්න විමසීමට ඡන්දයක් විමසූ අතර ඡන්ද 17 ක් රහස් ඡන්දයක් ඉල්ලාද, 13 ක් විවෘත ඡන්දයක් ඉල්ලාද ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
පසුව පැවති ඡන්ද විමසීමෙන් පසු ස්වාධීන මන්ත්‍රී සුකුමාල් පෙරේරා මන්ත්‍රී වරයා ඡන්ද 16 ක් ද, අමීර් නසීර් මන්ත්‍රී වරයා ඡන්ද 14 ක් ද ලබාගෙන ඇති බවත්, එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී ඇති බවත් කොමසාරිස් වරිය සභාවට දැනුම් දෙන ලදී.
ඒ අනුව ස්වාධීන මන්ත්‍රී සුකුමාල් පෙරේරා මන්ත්‍රී වරයා නියෝජ්‍ය නගරාධිපති තනතුරට පත්විය.
කළුතර මහ නගර සභාවක් ලෙස පුළුල් වීමෙන් පසු මන්ත්‍රී ආසන 31 ක් පවතින අතර, පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට මන්ත්‍රී 12 ක්, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර 8 ක් , එක්සත් ජාතික පක්ෂයට 3 ක් , මුස්ලිම් කොන්ග්‍රසයට ආසන 3 ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, සර්ව ජන බලය, ජාතික නිදහස් පෙරමුණ, ස්වාධීන එක් මන්ත්‍රී ආසනය බැගින් ලබාගෙන තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය /කළුතර සුනිල් තන්ත්රිආරච්චි
