සෑම දිනකම උදෑසනින්ම අවදි වන දේවිකා ඇගේ සහෝදර සහෝදරියන් සඳහා උදෑසන ආහාරය පිළියෙළ කරයි.
ඔවුන් සිය දිල්ලි නිවසේ බිම වාඩි වී සිටින විට, ඇය තවත් ආහාර පිඟානක් රාමුකළ ඡායාරූපයක් ඉදිරිපිට තබයි. ඒ දේව රූපයක් නොව, මීට සති කිහිපයකට පෙර ඉන්දියාවේ දෙවැනි කොරෝනා රැල්ලට හසුව මියගිය ඔවුන්ගේ ආදරණීය දෙමවුපියන්ය.
23 හැවිරිදි ගුරුවරියක වන දේවිකා, වයස අවුරුදු 4ත් - 14ත් අතර සිටින සිය සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගේ මූලික රැකවලා සහ ඔවුන්ගේ කුස පුරවන්නා බවට පත්ව ඇත. ඇගේ 20 හැවිරිදි වැඩිමහල් සහෝදරිය පමණක් ඇයට යම් ශක්තිමත් කුලුණක් වී සිටියි.
"මගේ ලොකුම භය නම් මට අම්මා සහ තාත්තා වගේ ඔවුන්ට ආදරේ කරන්න පුළුවන්ද නැද්ද කියන එකයි" දේවිකා පැවසුවාය.
"මම මුදල් උපයනවා. මා ගැන මා තුළ විශ්වාසයක් තියෙනවා. මගේ වැඩිමහලු සහෝදරියද මුදල් උපයාවි. මට ඇය කෙරෙහිත් විශ්වාසයක් තියෙනවා. මුදල් සම්බන්ධයෙන් කළ යුතු දේ අපට කළ හැකියි. නමුත් දෙමව්පියන් ඔවුන්ගේ ජීවිතවල නොසිටීම විශාල පරතරයක් ඇති කරාවි. එය පිරවීමට, අපට ඒ හිඩැස පිරවිය හැක්කේ කෙසේද?" ඇය කීවාය.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, අපේ‍්‍රල් 01දා සිට මැයි 25දා දක්වා කාලය තුළ ඉන්දියාව දෙවැනි කොරෝනා රැල්ල සමග පොරබදමින් සිටියදී දෙමාපියන් දෙදෙනාම වෛරසය නිසා අහිමි වූ ඉන්දියානු දරුවන් 577දෙනා අතර ඔවුහුද සිටිති. කෙසේ වෙතත් දෙමව්පියන් දෙදෙනාම අහිමි වූ දරුවන් සොයා ගැනීමේ දුෂ්කරතා නිසා, තවත් බොහෝ අනාථ දරුවන් සිටිය හැකි බවට ඇතැම් පුණ්‍යායතන බිය පළ කරන්නේ, ඉන්දියාවේ නිල කොවිඩ්-19 සංඛ්‍යාලේඛනවල දෝෂ පවතින නිසාය.
මේ තත්ත්වය තුළ සමාජ සේවකයන් එවැනි දරුවන් ලුහුබැඳීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින්නේ, එම දරුවන් ජාවාරම්කරුවන්ට ගොදුරු විය හැකි බවට හෝ තමන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකු නොමැති වුවහොත් ඔවුන් වීදිවලට වැටෙනු ඇතැයි යන බිය නිසාය.
දේවිකාගේ ජීවිතයේ හමා ගිය කුණාටුව
මීට මාස කිහිපයකට පෙර, දේවිකාට සහ ඇගේ පවුලේ අයට ජීවිතය මීට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. දේවිකාගේ අවධානය යොමු වූයේ උසස් අධ්‍යාපන කෙරෙහිය. උපාධියක් හැදෑරීම සහ විවේක කාලයේදී අමතර පන්ති පැවැත්වීම සඳහාය.
ඇගේ පියා හින්දු පූජකයෙකු ලෙස සේවය කළ අතර, චාරිත්‍ර ඉටු කිරීම සඳහා නිවෙස්වලට ගියේය. අගනුවර ආසාදිතයන් ඉහළ ගියද ඔහුට ඒ සඳහා යාමට බල කළේය. ඇගේ මව වැඩිපුරම නිවසේ රැඳී සිටිමින් දරුවන් රැකබලා ගනිමින්, ඇතැම් විට පියා කටයුතු කළ දේවාලය සඳහාද උදව් කළාය.
අප්‍රේල් මස අවසානයේදී, ඉන්දියාව දෛනිකව ආසාදිතයන් 350,000කට වඩා වාර්තා කරමින් සිටියදී, රෝහල් අධික ලෙස රෝගීන්ගෙන් පිරී ගොස්, ඔක්සිජන් නොමැතිව මහමග මිනිසුන් මියැදෙන විට, දේවිකාගේ 38 හැවිරිදි මව, ඇය කනස්සල්ලට පත්වන ආරංචියක් කියා සිටියේ තමාට උණ වැලඳී ඇති බව පවසමිනි.
දේවිකා උඩුමහලේ සෙසු සහෝදර සහෝදරියන් හුදකලා කිරීමට උත්සාහ කළ නමුදු ඒ වනවිට ප්‍රමාද වැඩිය. 53 හැවිරිදි ඇගේ පියා ඇතුළු මුළු පවුලටම උණ වැලඳී තිබුණි. කොවිඩ්-19 සඳහා දේවිකා ඇතුළු සෙසු දරුවන් කිසිවිටෙකත් පරීක්ෂාවට ලක් නොකළද, දේවිකාගේ මව පසුව රෝහලේදී කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළාය.
දරුවන් සුවය ලැබූවද මවගේ තත්ත්වය නරක අතට හැරී ඇයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත නොහැකි විය. එක් රාත්‍රියක රෝහල් තුනකට ගියද ඒවායෙහි ඇයට ඉඩක් සොයාගත නොහැකි විය. පසුව දේවිකාට අසල පිහිටි නගරයක රෝහලක් වෙත සිය මව රැගෙන යාමට හැකි වුවද එහිද ඔක්සිජන් හෝ වෙන්ටිලේටර් පහසුකම් නොවීය.
"අපි ගොඩාක් අසරණයි. අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කළා. ඒත් අපි අසමත් වුණා" ඇය පැවසුවාය.
ඒ සමගම ඇගේ පියා දිල්ලි රෝහලකට ඇතුළත් කරනු ලැබීය. අපේ‍්‍රල් 29දා ඇගේ මව මිය යන විට දේවිකාට එය ඔහුට පැවසීමට ධෛර්යයක් නොතිබුණි. ඒ ඔහු තම බිරිඳට බොහෝවිට පවසන වාක්‍ය ඛණ්ඩයක් දේවිකාවේ සවන නිතරම ගිගුම් දුන් නිසාය. "ඔබ නැතිව නම්, ජීවත් වෙලා කිසිම සතුටක් නැහැ."
තම මවගේ දේහය දිල්ලි රෝහලට ගෙන ගිය මොහොතේ දේවිකා ඒ බව පියාට සිහිපත් කළාය. ඇය ආදාහනය කිරීමට පෙර අවසන් වරට ඇයව දැක ගැනීමට ඔහුට හැකි විය.
"අම්මා ගිලන් රථයේ සිටියා. තාත්තා රෝහලෙන් එළියට ආවා. පසුව ඔහු ඇයව දුටුවා. ඔහු ඇස් පහත් කළා. ඔහු කිසිවක් කීවේ නැහැ" දේවිකා පැවසීය.
ඇය සිතන්නේ ඉන් පසුව තම පියාට ජීවත්වීමේ කැමැත්ත නැති වූ බවය. සතියකට පසු, එනම් මැයි 7දා ඔහුද කොවිඩ්-19 ආසාදිතව මිය ගියේය.
"අපි ඇත්තටම හිතන්නේ ඔහුට අම්මා එක්ක යන්න අවශ්‍ය වුණා කියලයි" දේවිකා පැවසීය. "මගේ තාත්තා අම්මා ළඟට යන්න ඇති. ඔවුන් දැන් එකට ඉන්නවා" ඇය පැවසුවාය.
දේවිකා මවු පදවිය නොලබාම මවක් වීම
ඇගේ දෙමව්පියන් මිය ගිය පසු, බලධාරීන් තම සහෝදර සහෝදරියන් ඇයගෙන් ඉවත් කරනු ඇතැයි දේවිකා කනස්සල්ලට පත්විය. ඇය උපදෙස් සඳහා රජය විසින් පවත්වාගෙන යනු ලබන ළමා ආරක්ෂණ දුරකථන අංකයක් ඇමතුවාය.
එහිදී ඔවුන් ඇයට කීවේ ඇය ප්‍රාථමික භාරකරු බවයි. කුමක් කළ යුතුද යන්න තීරණය කිරීම ඇය සතු බව ඔවුන් කීවේය.
පසුගිය සති කිහිපය බොඳ වූ සිහිනයක් බඳුය. දේවිකා තම දෙමව්පියන්ගේ රෝහල් ප්‍රතිකාර වෙනුවෙන් ගෙවීම සඳහා ණය මුදලක් ලබාගත් අතර, දැන් එම මුදල් පවුල ඉදිරියට ගෙන යාමටද ඇයට යම් අස්වැසිල්ලක් ලබාදී ඇත. ඇය සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ අමතර පන්ති පැවැත්වීම ආදිය සමග සිය සහෝදර සහෝදරියන් රැකබලා ගැනීමේ නියැලෙයි. පුණ්‍යායතනයක් විසින් පවුලට වියළි සලාක ලබාදෙයි. දේවිකාට තවදුරටත් ශෝක වෙමින් සිටීමට කාලයක් නැත. ඇයට අවශ්‍ය වන්නේ තම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ශක්තිමත් වීමක් පමණි.
"කඳුළු නොවැටෙන තරමටම දේවල් මගේ ජීවිතයේ සිදුවෙලා" කොවිඩ්-19 ඛේදවාචකය හමුවේ මවු පදවිය නොලබාම මවක් වීමට වෙර දරන්නට වූ ඒ තරුණිය දේවිකා, අවසන් වශයෙන් සිය පහත් ස්වරය, දීර්ඝ සුසුමක්ද සමග වා තලයට මුසු කළාය.
දේවිකා සිය සහෝදර සහෝදරියන් සමග
දේවිකා මවට හා පියාට වන්දනා කරමින්
දේවිකාගේ නැසීගිය මව සහ පියා
20 හැවිරිදි නැගෙණිය ආහාර පිසිමින්
ඔවුන් එකට ආහාර ගනිමින්
මවක් නොවී මවක් වූ දේවිකා