කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් , එහිදී විවිධ ප්‍රශ්න සහ කරදර වලට භාජනය වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52 ක් අද දින (28) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මෙම පිරිස අද දින උදෑසන 6.35 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්, 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
මොවුන් අතරින් 06 දෙනෙකු වසර දෙකක සේවා කාලය පසු කර තිබුණ ද , ඉතිරි සියලු දෙනා වසරකටත් වඩා අඩු කාලයක් ඒ රටේ ගෘහ සේවයේ යෙදී සිටි අය වෙති .
මොවුන් සියලු දෙනාම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පදිංචි කාන්තාවන් වූ අතර , ඔවුන්ට තම සේවාදායකයන් විසින් වැටුප් නොගෙවීම, පහර දීම , විවිධ හිරිහැර සහ කරදර වලට පත් කිරීම නිසා , එම නිවාස වලින් පලා විත් , කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි අය වූහ .
එමෙන්ම මෙම පිරිස අතරින් 08 දෙනෙකු හැර ඉතිරි 44 දෙනාම එරට නිකුත් කළ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් මෙරටට එවා තිබූ අතර , මෙම පිරිස අතර සිටි 35
දෙනෙකු මෙරටට පැමිණීම සඳහා ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබුණි .
මෙම පිරිසට තම ගම් ප්‍රදේශ කරා යෑම සඳහා ප්‍රවාහන දීමනාවක් ලබා දී , ඔවුන්ව කටුනායක , ඇවරිවත්ත සහ මීගමුව බස් නැවතුම් පොළ වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබුණි .