කලුගල්, වැලි, පස්, බොරලු වගේම මැටි කැණීම, ප්‍රවාහනය හා වෙළෙදාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම ගැන නව චක්‍රලේඛයක් ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබේ.
සංවර්ධන ප්‍රමුඛතාවන්, පෞද්ගලික ව්‍යවසායන්, කුඩා ස්වයං රැකියා සහ පාරම්පරික වෘත්තින්හි නියැලෙන්නන්ගේ ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදා ගැනීම හා ඒවා ලබාගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කෙරුණා.
භූ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළෙදාම සදහා පැවති ක්‍රියාවලිය තුළ ජනතාව පෞද්ගලික ආයතන මෙන්ම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන මුහුණ දුන් අසීරුතා මගහරවා පරිසරය සුරැකෙන පරිදි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියක් හදුන්වා දීම එම බලකායේ වගකීම වුණි.
එම බලකාය සකස් කළ නව ක්‍රමවේද පිළිබද උපදෙස් අඩංගු ඉදිකිරීම් කර්මාන්ත සදහා භාවිත කරන ඛනිජ කැණීම් ප්‍රවාහනය සහ වෙළෙදාම පිළිබද කාර්ය සංග්‍රහයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒ අනුව අදාළ සියලු ආයතන ප්‍රධානීන් කලුගල්, වැලි, පස්, බොරලු හා මැටි කැණීම් ප්‍රවාහනය හා වෙළෙදාම ක්‍රමවත් කිරීමට අවශ්‍ය පියවර නොපමාව ගත යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක්‍රලේකය මගින් දැනුම් දී තිබෙනවා.
සියලු ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන මෙතෙක් හුදෙකලාව ක්‍රියාත්මක කළ ක්‍රමවේද වෙනුවට ඒකීය ක්‍රමවේදයක් තුළ කටයුතු කිරීම සදහා අවශ්‍ය ව්‍යුහයක් ගොඩනැගීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම කළ යුතුයි. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව නව චක්‍රලේඛයේ සදහන්.