සීමාසහිත ලංකා සීනි සමාගමේ පැලවත්ත සහ සෙවණගල ඒකක දෙකේ එතනෝල් නිපදවන බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා එක්තරා සමාගමකින් දැවිතෙල් වෙනුවට කළුතෙල් මිලදී ගැනීමකින් 2021 – 2022 අතර වසරක කාලයේ දී සීනි සමාගමට අහිමි වී තිබෙන මුදල රුපියල් කෝටි හැත්තෑවකට අධික බව රජයේ විගණකාධිපතිවරයා කළ විශේෂ විගණනයක දී හෙළි වී ඇති බව විගණන නිලධාරියෙකු සමඟ එම කාර්යාලයේදී කරන ලද මාද්‍ය සාක්ච්ඡාවකදී අනාවරණය විය.
2020 වසර වනතුරුම මෙම බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් Furnace Oil ලබාගෙන තිබුණේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙනි. නමුත් 2020 ජුනි සිට 2022 අගෝස්තු දක්වා දැවිතෙල් සැපයුම සමාගමට මෙලෙස ලබාදී ඇතැයි විගණනයේ දී තහවුරු වී ඇත. 2020 වසරේ දී සීනි අධ්යක්ෂ මණඩලය එම තීරණය ගෙන ඇත.
දැවිතෙල් සැපයුම අදාළ සමාගමට පැවරීමේ ගිවිසුමට අනුව ඒ වනවිට දැවිතෙල් ලීටරයක මිල රුපියල් 96 ක්ව පැවැති අතර, අදාළ ප්‍රතිසම්පාදනය යටතේ මෙකී සමාගමට එම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ දැවිතෙල් ලීටරයක් රුපියල් 94.75 ට ලබාදෙන බවට ගිවිසුම් ගතවෙමිනි.
අදාළ සමාගම දැවිතෙල් Furnace Oil වෙනුවට නෞකාවලින් ඉවත් කරන කළුතෙල් Black Oil සැපයීම නිසා බොයිලේරු අක්‍රියවීම නිසා අවම වශයෙන් එතනෝල් ලීටර් හයලක්ෂයක්වත් නිපදවාගත නොහැකි වීමෙන් ඉන් සමාගමට අවම වශයෙන් රුපියල් කෝටි 30 ක (මිලියන 300) පමණ පාඩුවක් සිදුවී ඇතැයි රජයේ විගණන වාර්තාවේ සඳහන්ය. මීට අමතරව මෙම ගනුදෙනුව නිසා තවත් රුපියල් කෝටි හතළිහක පාඩුවක් මෙම සීනි සමාගමට සිදුවී ඇති බව මෙම විගණන නිලධාරියා විසින් අණාවරනය කරන ලදි.
චන්දන සමරවික්‍රම