කිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්රදේශයේ බිම්බෝම්බ ඉවත් කරන ලද ප්රදේශයක සිදුකරන ලද කැණිම්හි දෙවන අදියර ඊයේ (02) දින අවසන් බවටත් එහිදී කොටි සංවිධානය සතු යුද උපකරණ, මිනිස් අස්ළුි හා නිලඇඳුම් තොගයක් හමුවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
පසුගිය මස (මැයි) 22 දා මුහමාලෙයි බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටි විදෙස් සංවිධානයක සාමාජිකයින් හට පළමුව කොටි සංවිධානය සතු නිලඇඳුම් හා ගිනිඅවි කොටස් කිහිපයක් සමගින් මිනිස් අස්ථි කිහිපයක්ද හමු වූ අතර පසුව කිලිනොච්චිය මහේස්ත්රාත් ටී. සර්වනරාජා මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය 26 වනදා අදාල ස්ථානයේ පළමු අදයරේ කැණිම් කිරීමට කිලිනොච්චිය පොලීසිය විසින් පියවර ගනු ලැබීය.
මේ අනුව පළමු පියවරේදීද මිනිස් අස්ථි, ගිනිඅවි, කොටි නිලඇඳුම් කිහිපයක් හමුවූ අතර ඊයේ (02) දිනයේ දෙවන අදියරේ සිදු කරන ලද කැණිම් වලදී මිනිස් අස්ථි කොටස් 14 ක්, මැගසින් දෙකක්, සයිනයිඩ් කරලක් ,පතුරම් 34 ක් වශයෙන් හා කොටි සාමාජිකයින්ගේ නිලඇඳුම් කොටස් කිහිපයක්ද හමු වී ඇත.
මේ අනුව දෙවන අදියරේ කැණිම් කටයුතු ඊයේ දිනයෙන් අවසන් වූ අතර නැවත එළඹෙන ජුනි මස 09 වනදා තෙවන අදියර යටතේ කැණිම් සිදු කිරීමට නියමිත බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසීය.