මන්දකට හසුවී ජීවග්‍රහණයෙන් අල්ලාගත් කලු කොටියා උඩවළව ඇත්අතුරු සෙවනට ප්‍රතිකාර සඳහා ගෙනවිත් ප්‍රතිකාර කළ ද, සතාට තිබූ සංකූලතා හේතුවෙන් ඌ මියගිය බවට විශ්වාස කරන්නේයැයි උඩවළව ඇත් අතුරු සෙවනේ පශූ වෛද්‍ය මාලක අබේවර්ධන මහතා ඊයේ (30දා) පැවසුවේය.
හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේ එළවලු වගා භූමියක අටවා තිබූ මන්දකට මෙම කලු කොටියා හසුවී තිබුණි. ජීවග්‍රහණයෙන් අල්ලාගත් කලු කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 27දා උඩවළව ඇත් අතුරු සෙවන පශු වෛද්‍ය රෝහලට ගෙනෙනු ලැබීය.
ඉතා දුර්ලභ වර්ගයේ සත්ත්වයෙකු වන මෙම කලු කොටියා ශ්‍රීපාද රක්ෂිතයේ ජීවත් වූ එකෙකි. අඩි අටක් පමණ දිග කිලෝ හැත්තෑවක් පමණ බර පිරිමි සතෙක් විය.
මන්දට හසුවීමෙන් පසු ඉන් බේරීයාමට දැඟලීම නිසා කලු කොටියාට සංකූලතා ඇතිවන ආකාරයේ තුවාල සිදුව තිබූ බව පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පැවසුවේය. උඩවළව පශූ වෛද්‍ය රෝහලට ගෙනා කලු කොටියා වායුසමනය කරන ලද අඳුරු කාමරයක ප්‍රතිකාර කරනු ලැබ තිබුනි.
එහෙත් 28දා දවල් වරුවේ සිට මේ සතා ඉතා දුර්වල මට්ටමක සිටි බවද පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පැවසුවේය.
‘පසුදා (29දා) අලුයම වනවිට සතා ගොඩාක් දුර්වල තත්ත්වයේ පසුවුනේ. උදෑසන 10.40ට පමණ සතා මියගියා. මේ සතා මන්දට හිරවීම නිසා බෙල්ලේ මාංශපේශී හා අවට පටක වලට හානි සිදුවෙලා තිබුණා. ඒ නිසා ඇතිවූ සංකූලතා නිසා මරණය සිදුවුණා කියලයි අපි විශ්වාස කරන්නේ. වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුර පේරාදෙනිය පශූ වෛද්‍ය පීඨයට ගෙනයනවා.
මේ සතා ඉන්න අනික් පිරිමි සත්තු හා සංසන්දනය කරලා බලනවිට හොට හැදුණු පෘෂ්ටිමත් සතෙක් කියලා කියන්න පුලුවන්. අපේ රටේ ජෛව විවිධත්වයට විශාල පාඩුවක් මේ සතාගේ මියයාම නිසා සිදුවුණා.
මේ වගේ සත්තු ශරීර වේදනාවන්ට සහ මේ වගේ තැතිගැනීමවට හරිම සංවේදීයි. මේ වගේ සතෙක් අහුවුණාම කරන්න ඕනෑ එතැනට එක්රොක්වීම නෙවෙයි ඒ සතාට නිස්කලංකව ඉන්න සලස්වන එක. ඒ වෙලාවේ ඇතිවූ තත්ත්වයන් නිසා මේ සතා කලබලකාරී වෙලා හිටියේ. මන්දෙන් බේරෙන්න දඟලලා තිබුණා. ඒනිසා ශරීරයට හානි වැඩිවෙලා තිබුණා. අපි උඩවළවට ගෙනැල්ලා අඳුරු ස්ථානයක තියලා තමයි ප්‍රතිකාර කටයුතු කළේ. අත්‍යවශ්‍ය අවස්ථාවක හැර අනෙක් හැම වෙලාවෙම ඒ සතාට නිස්කලංක පරිසරයේ ඉන්න ඉඩ හැරියා. නමුත් ඇතිවෙලා තිබුණ සංකූලතා නිසා මේ සතාගේ ජිවිතය බේරාගන්න බැරිවුණා. ඒක ඉතාම කණගාටුවක්.
මම පෞද්ගලිකව විශ්වාස කරනවා මෙ වගෙ සත්තු තව ඉන්නවා කියලා. නමුත් ඒක හිත හදාගනන හේතුවක් නෙවෙයි. කලුකොටි ආරක්ෂා කරගන්න විශේෂ වැඩපිළිවෙලක් ඇති කළ යුතුයි. ඒක අපේ දෙපාර්තමේන්තුවට විතරක් තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.’
මේක සමාජ වගකීමක්. මදු තියන, හානි කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරගැනීමට සමාජයේ සහයෝගය අපිට අත්‍යවශ්‍යයි. දෙපාර්තමේන්තුවක් හැටියට අපිට තියනව මානව සම්පත් හා අනෙකුත් සහසුකම් යටතේ වනජීවී දෙපාර්තමේන්තුවට පමණක් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.” පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පැවසුවේය.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්න ජේ නානායක්කාර