ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් විරුද්ධ වෙන්නේ මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින අපි බව"ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් ඊට විරුද්ධ වන්නේ මෙරට සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින තමන් බවත් 2015ට පෙර 'ලැම්බෝගිනි - රත්තරන් අශ්වයෝ - බේබිලාට චොපර්' කියමින් ගොඩනැගූ පච අවලාද මෙහෙයුමෙහි දෙවන අදියර දැන් ආරම්භ වී ඇති බවත් ඒ මෙහෙයුමෙහි නිරත අමුතුම පරිසරවේදියෝ පිරිසක් 'මෙන්න කැලෑ කපනෝ' කියමින් අද විලාප දෙමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
ඊයේ (20) අතුරුගිරිය ප්‍රදේශයේ පැවති 'දැයට එළිය' තේමාව යටතේ පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් අපේ ආණ්ඩුව කොරෝනා වසංගතය ඇතුළු බොහෝ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ජනතාවට තම වගකීම සහ යුතුකම ඉටු කරමින් සිටින බව ඔබ සැම පිළිගන්නවා ඇති. මේ රට අවුලෙන් අවුලට ඇදගෙන ගිය පැවැති ආණ්ඩුව අපට ලබාදී ගියේ ආර්ථික වර්ධන වේගය 2%කටත් වඩා අඩු වේගයක් සහිත, ආර්ථිකය බිද වැටුණු රටක්. ඔවුන් ඒ වන විට රටේ ජාතික ආරක්ෂාව ද බිංදුවට බස්සවා තිබුණා. ඒ සියල්ල ක්‍රමානුකූලව යළි ගොඩනංවමින් තමයි අපට ආණ්ඩුවක් හැටියට ජනසහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකිව තිබෙන්නේ.
ලෝකයේ කොරෝනා වසංගතයට එරෙහි එන්නත් ලබාදෙන රටවල් සුළු ප්‍රමාණය අතර අප රට ද අද ඉන්නවා. ආර්ථිකය ගොඩනංවමින්, සංවර්ධන වැඩ කටයුතු සිදු කරමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද බිඳ වැටීමට ඉඩ නොදෙමින් ඉදිරියට යන අපේ ආණ්ඩුව 'දැයට එළිය' යන තේමාව යටතේ තමන්ගේ වියදමින් විදුලිය ලබා ගත නොහැකි පවුල් වෙසෙන නිවෙස්වලට නොමිලේ විදුලිය ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.
බොහෝ රටවල සුබසාධන කප්පාදු කරලා, විදුලි බිල්පත ද වැඩි කරන කාලයක තමයි අඩු ආදායම්ලාභී පවුල්වලට නොමිලේ විදුලිය ලබා දීමට අපේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ. නොමිලේ විදුලිය ලබා දීමෙන් අපි බලාපොරොත්තු වන්නේ රෑට 'බල්බ් එකක්' පත්තු කරදීම නොවෙයි. ඒ පවුල්වල දරුවන්ට අනාගත අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය වන පහසුකම සලසා දීමයි අපි සිදුකර දෙන්නේ. නිදහස් අධ්‍යාපනය හිමි දරුවන්ට හොඳින් පාඩම් කටයුතු කරලා ඉදිරියට ගියාම දුගී දුප්පත්කම ජය ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුලක සිට මධ්‍යම ආදායම්ලාභී පවුලක් දක්වා පරිවර්තනය වීමට දෙන ප්‍රධානතම තල්ලුවක් තමයි මේ නොමිලේ විදුලිය ලබා දීම.
මේ විදිහට සංවර්ධන කටයුතු සිදු කරමින්, නව වගා බිම් අස්වැද්දීමට ජනතාව පොළඹවමින් ඉදිරියට යනකොට සමාජ මාධ්‍යවල 'පිටරටවල කැලෑ කැපූ ඡායාරූප' පවා යොදාගෙන 'මෙන්න සිංහරාජය කපනෝ' කියා කෑගහන අමුතුම පරිසරවේදියෝ ටිකක් දැන් බිහිව තිබෙනවා.
එදා රිෂාඩ් බදියුදීන් විල්පත්තුව කපන විට, පසුගිය ආණ්ඩුව කුඹුරු, තෙත් බිම් ගොඩ කරන විට හිටපු නැති පිරිසක් දැන් අතිශයෝක්තියෙන් කටයුතු කරන මහා පරිසරවේදියෝ බවට පත්වෙලා තිබෙනවා. 2015ට කලින් 'ලැම්බෝගිනි - රත්තරන් අශ්වයෝ - බේබිලාට චොපර්' කියලා අතිශයෝක්තියෙන් ගොඩනඟපු පච අවලාද මෙහෙයුමේ දෙවන අදියර තමයි දැන් 'මෙන්න කැලෑ කපනෝ - මෙන්න සිංහරාජෙ කපනෝ' කියමින් ආරම්භ කර තිබෙන්නේ.