මේ රජයේ ඇතිකළ අර්බුදය වසරක් තිස්සේ එන්න එන්න උග්‍ර වෙනවා විනා විසඳුමක් නැත. රට වටේ පැය 10 ක් විදුලිය කපනවා. මෙහි අහිතකර බලපෑම් නිවැසියන්ට කුඩා ව්‍යාපාරිකයන්ට කුඩා කර්මාන්ත කරුවන්ට ව්‍යාපාරිකයන්ට හා සියලු ක්ෂේත්රයන්ට බෙහෙවින්ම බලපානවා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේ ආර්ථික කේන්ද්‍රයේ අද (30දා) පැවති මාධ්‍ය සාකච්ඡාව ඇමතූ ඉරාන් වික්‍රමරත්න මහතා රටේ අර්බුදයට සමගි ජන බලවේගය හඳුනා ගෙන ඇති විසදුම් පිළිබඳ කථා කරමින් මෙසේද කීය.
පරිගණක තාක්ෂණය හරහා සේවා අංශයේ රැකියාවල නියුතු දක්ෂ තරුණ තරුණියන් බොහොමයක් මේ රටේ සිටිනවා. ඔවුන්ට මේ විදුලිය නැති නිසා එම සේවාව ලබාදීමට නොහැකි වනවා පමණක් නොව ඒ හරහා රටට ලැබෙන විදේශ විනිමය ආදායම ද අහිමි වීමේ තර්ජනයක් පවතිනවා.
මහා පරිමාණයේ කර්මාන්ත ශාලා හිමියන් අපනයනකරුවන් ව්‍යාපරිකයන් විදුලිය කපන අවස්ථාවල දී තමන්ගේම විදුලි ජනන යන්ත්‍ර භාවිත කළ ද ඩීසල් නැති නිසා ඒවාද ක්‍රියාත්ම කරන්නට බැරි තරමට තත්ත්වය උග්‍ර වී රටේ ආර්ථීකය තවදුරටත් කඩාවැටීමට ලක්වී ඇත. රටේ ඩීසල් බින්දුවක් වත් නැතැයි දැනුම්දී ඇති රජය මාර්තු 30 සහ 31 දෙදින යන්හි ඩීසල් ලබාගැනීමට ඉන්ධන පෝලිමට නොඑන ලෙස ද දැනුම් දී තිබෙනවා. මේ නිසා මහා පරිමාණ නිෂ්පාදකයන්ගේ ද නිෂ්පාදන සම්පූර්ණයෙන්ම ඇන හිට ඇත.
මේ රටේ අර්බුදය ගැන රජයට දැනුම් දීම හෝ උපදෙස් දීම හරියට බීරි අලින්ට වීණා වාදනය කරනවා හා සමානයි. එයින් කිසිදු පලක් නැත. මෙයට ප්‍රධාන හේතුව වසරකට පෙර මෙරට අර්බුදයට තල්ලු කළ එම කණ්ඩායමයි. ඒ ඒ ස්ථානවල තවමත් සිටිමින් රජයේ කටයුතු මෙහෙයවන්නේ. රට මෙසේ විනාශයට පත් කරන්නට කටයුතු කළ මහා භාණ්ඩාගාරය මුදල් අමාත්‍යංශයේ හා මහබැංකුවේ නිලධාරීන් නිරුපද්‍රිතව තාමත් ඒ ස්ථානවල වැජඹෙමින් සිටිති.
මේ අර්බුදයෙන් ගොඩ එන්නට කුමන විසඳුම් යෝජනා කළ ද ඔවුන්ට ඒවා ක්‍රියාත්මක කිරීම තේරුම් ගැනීමේ හැකියාව නැති නිසා දැන් කළ යුතු එකම දෙය මේ අර්බුදයට වගකිවයුතු සියලු දෙනා ගෙදර යැවීමයි.
ආර්ථිකයට අදාළ ප්‍රතිපත්ති සහ වෙනස්කම් ක්‍රියාවට නංවා ලීමේ දී එයින් තමන්ට නිවැරදි යැයි සිතන එකක් පමණක් ක්‍රියාවට නැංවීමෙන් තත්ත්වය තවත් උග්‍ර වෙනවා. ඒවාට අදාළ සියලු අංශ එක් වර ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු වුව ද ආර්ථික කළමනාකරණය පිළිබඳ දැනීමක් නැති නිසා තනි තනි විසදුම් ක්‍රියාත්මක කිරීමෙන් ඵලක් වන්නේ නැත.
අද රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගන්නට නම් ක්ෂණිකව කළ යුතු දේවල් ක්ෂණිකවම කළ යුතුයි. ඒ වගේම මැදි කාලීනව හා දිගුකාලීන විසදුම් ද ක්ෂණික විමසුමට සමාන්තරව ක්‍රියාත්මක කළ යුතුයි. එය සඳහා නිවැරදිව යෝජනාව වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාව දිගටම ගෙන යා යුතුයි. ඒ සඳහා මූල්‍ය හා නීතිය පිළිබඳ උපදෙස් අවශ්‍ය වෙනවා.
අවාසනාවකට මෙන් මේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුද නැද්ද යැයි කාලයක් තර්ක කරමින් කාලය ගත කළා. දැන් මේ සඳහා මූල්‍ය හා නීති උපදේශකයන් අවශ්‍ය දැයි යළිත් වරක් තර්ක කරමින් කල්මින් සිටිනවා..
ශ්‍රී ලංකාවේ මෙන් ආර්ථික අර්බුද වලට මුහුණ දුන් වෙනත් රටවල්ද තිබෙනවා ඔවුන් එම අර්බුදවලින් ගොඩ එන්නට කුමක්ද කළේ යැයි මේ රජයේ පාලකයන් හා වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි. එහෙත් ඒ ඉතිහාසයේ පාඩම ඉගෙනගන්න මේ පාලකයන් හා මූල්‍ය පාලනයට වගකිව යුතු නිලධාරීන් සුදානම් බවක් පෙනෙන්නට නැත.මීළඟට කළ යුතු වන්නේ විදේශ රටවලට ගෙවිය යුතු අපේ ණය ඇත්හිටුවීමයි. වහාම ඒ සඳහා ද රජය අවශ්‍ය පියවර ගත යුතුයි යැයිරට වෙනුවෙන් විපක්ෂය මේ පාලකයන්ට දැනුම් දීමට කැමතියි.
ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට පෙරාතුව ණය දුන් පාර්ශ්වයන් සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට මාස හයක් පමණ ගත වීමට ඉඩ ඇති බැවින් ක්ෂණික සාකච්ඡාවක් පවත්වා ගෙවිය යුතු ණය තාවකාලිකව අත්හිටුවීමට එකඟතාවය ලබා ගත යුතුයි.රජය මේ පියවර ගන්නේ නම් ජනතාවට ක්ෂණික සහන ලබා දී ඉන්ධන පෝලිම නැති කර ජනතාව නිවෙස් වලට යවා විදුලිය කැපීම ද අත්හිටුවීමට රජයට නිසැකවම හැකි වෙනවා ජනතාව වෙනුමෙන් මේ රජය යම් පියවරක් ගන්නේ නම් වහා මේ කටයුතු වලට අවතීර්ණ වීම අත්‍යවශ්‍ය වේ.
මේ ඉන්ධන පෝලිම නිසා ජීවිත ද නැති කර ගෙන තිබෙන හෙයින් තවදුරටත් ජනතාව පෝලිමේ තබා ගැනීම කින් තොරව එම මූලික ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලිය රජය තවදුරටත් ප්‍රමාද කරන්නේ ඇයිදැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා රජයෙන් විමසා සිටියේය.
එහෙත් අවාසනාවකට මෙන් මේ රජය කෙරෙහි ජාත්‍යන්තරයේ විශ්වාසයක් නැත. මේ බැරෑරුම් අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අතහිත දීම පිළිබඳ අපි ඉන්දියාවට ප්‍රසංසා කරනවා. සැපයුම් අංශය සහ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කීපයක් සඳහා ඉන්දියාවෙන් ලැබී ඇති එම ආධාර වලට අමතරව රටේ අනෙකුත් අවශ්‍ය ය භාණ්ඩ හා සේවාවන් සඳහා තවත් විශාල මුදලක් අවශ්‍ය වනවා.
ඉතා ගැඹුරු අර්බුදය පිළිබඳව රජයට විසඳුමක් නැති බැවින් සමගි ජන බලවේගය දේශීය හා ජාත්‍යන්තර විද්වතුන්, ශ්‍රී ලංකාවේ මූල්‍ය හා ආර්ථික ක්ෂේත්රයේ හිටපු විද්වතුන් හා ප්‍රවීණයන් සමඟ සාකච්ඡා පවත්වා ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්ෂණික, මැදි කාලීන හා දිගු කාලීන විසඳුම් පිළිබඳ අප දැනටමත් අධ්‍යයනය කර අවසන් යැයි හෙතම පැවසුවා.
මෙහිදී රටේ පවත්නා මූල්‍ය හිග පරතරය නැති කිරීම ඉතාමත් වැදගත් වන බැවින් මිත්‍ර රටවල් සමග අපි අදත් සාකච්ඡා කළා. එහෙත් ශ්‍රී ලංකාවේ මිත්‍ර රටවල් ඔවුන් ආධාර දෙන්නේ මෙරට ආණ්ඩුව මේ අර්බුදයේ ගැඹුර අවබෝධ කරගෙන ඒ විසඳීම සඳහා කටයුතු කළ හැකි තත්ත්වයේ සිටිනවාදැයි විශ්වාසයක් තිබේ නම් පමණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය ආර්ථික කේන්ද්‍රයේ සාමාජිකයන්ද ඉන්දියාවේ විදේශ ඇමැති සමඟ ද ඊයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
මේ රට තල්ලු කර තිබෙන අර්බුදයෙන් පහසුවෙන් ගොඩ එන්නට බැරිය. මේ සඳහා තිත්ත බෙහෙත් දෙන්නට වෙනවා බොරු දේශපාලන පොරොන්දුවෙන් තවදුරටත් ජනතාව රැවටීමෙන් සිදුවන්නේ රට මුළුමනින්ම බංකොලොත් වීමයි.
සාර්ව ආර්ථික ගැටළුව නිවැරදි කර ගනීමට මේ රජයට නොහැකි වීම නිසයි රට මෙතරම් අගාධයට වැටී තිබෙන බව ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.මේ සඳහා අමාරු තීරණ ගැනීමේදී සමාජයේ සමහර කොටස් වලට දැනටත් වඩා අපහසුතා ඇතිවීමට ඉඩ ඇති බැවින් ඔවුන්ට සමාජ ආරක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ
අද වන විට බඩු මිල දෙගුණයකටත් එහා වැඩිවී ඇති තත්වයක මාසික වැටුප් ලබන්නකු ට ඒ වැටුපෙන් ජීවත් විය හැකි වන්නේ අර්ධ මාසයක් පමණි. ස්ථිර රැකියාවක් හා ස්ථිර වැටුපක් ලබන අයට ද ජීවත්වීමේ අරගලයක් පවතිද්දී දෛනික වැටුප් ලබන අයට ඊටත් වඩා දුෂ්කරතා ඇත. ඒ නිසා ඉතා දුප්පත් අය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ද සමගි ජන බලවේගය විසින් සකස් කරමින් සිටින බව හෙතෙම පැවසීය. එය සඳහා දැනට ක්‍රියාත්මක රටේ අයවැයේ යම්කිසි වෙනසක් කළ යුතු වන බව හෙතෙම අවධාරණය කළේය.
දුප්පත් ජනතාව සහ අඩු ආදායම් ලබන අයව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් යටතේ ආරක්ෂා කිරීම සමගි ජන බලවේගයේ ආර්ථික ප්රත්පත්තියේ ප්‍රධාන ප්‍රමුඛතා වැඩපිළිවෙළක් යැයි ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.
මේ බැරෑරුම් අවස්ථාවේදී ජනතාවට සහන දී ජනතාව කෙරෙහි ආයෝජනයෙන් කිරීම වෙනුවට මේ රජය පාරවල් හා පාලම් බෝක්කු හදා කොමිස් ගැසීමට ප්‍රමුඛතාවය අයවැය මගින් ලබාදී ඇතැයි රජයට චෝදනා කළේය.
සමගි ජන බලවේගය ආර්ථික කළමනාකරණයේ වගකීම ගත් පසු අප කෙරෙහි විශ්වාසය තබා ඇති අපගේ අත්දැකීම් හා ආර්ථික කළමනාකරණ හැකියාව පිළිබඳ විශ්වාසය තබා ඇති මිත්‍ර රටවලින් ආධාර පහසුවෙන් ලබා ගත හැකි වනු ඇතැයි මන්ත්‍රීවරයා දැඩි විශ්වාසය පළ කළේය.ජනතාව මේ අගාධයෙන් ගොඩ ගැනීමට ප්‍රමුඛතාවය දී කටයුතු කරන්නට බැරි නම් ගෙදර යන්න යයි ඉරාන් වික්‍රමරත්න මහතා ඉල්ලා සිටියේය.