රඹුක්කන, දැලිවල ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ ඉහළ මාලයේ ආරක්ෂිත මංජුසාවක තැන්පත් කර තිබූ දඹ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කර ගෙන යෑම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 10ක මුදලක් සතුටු සිතින් පරිත්‍යාග කරන බව දැලිවල ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය පුස්සැල්ලේ ආරියවංශ නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ, අද (17දා) දහවල් විහාරස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විහාරාධිපති පූජ්‍ය පුස්සැල්ලේ ආරියවංශ නාහිමියෝ,
"මෙම දඹ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කර ගෙන ගොස් දැනට දින පහක් හයක් වෙනවා. විමර්ශන කටයුතු සිදු කරමින් යනවා. නමුත් තාම කිසිම තොරතුරක් දැනගන්න ලැබිලා නෑ. මෙම පුරා වස්තු පුරා විශාල මුදල්මය වටිනාකමක් නෑ. වසර 2300ට එහා ගිය පුරා විද්‍යා වටිනාකමක් පමණක් මා දන්නා තරමින් තියෙන්නේ.
මේ පුරා වස්තු සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා පුද්ගලයෙක් සිටිනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසේකර 071-5894924 අංකයට හෝ 070-2542162 අංකයට ඒ මහතා අමතා ලබාදිය හැකිය. ඒ වගේම දැලිවල ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය පුස්සැල්ලේ ආරියවංශ හිමියන් වන මාගේ දුරකථන අංකයට 071-6920275 ලබාදෙන ලෙස සිහිපත් කර සිටිනවා. යම් නිවැරදි තොරතුරක් ලබා දෙන්නාගේ රහසිගතභාවය ඒ අයුරින්ම ආරක්ෂා කර දෙනවා.
මා දන්නා පරිදි මේ දඹ රන් කරඬු කිව්වාට රන්වලටත් වඩා අඩු වටිනාකමක් තමයි තියෙන්නේ. ඒ නිසා විශාල මුදලක් මිල කරන්න බෑ. මෙහි මිල කරන්න බැරි පුරා විද්යාමක සහ ඓතිහාසික වටිනාකම පමණයි" යනුවෙන්ද පවසා සිටියිහ.
කෑගල්ල චමින්ද
