එක්දහස් නවසිය අනූහතේ සිට පවතින තම වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති එකමුතුව අද (25) පස්වරුවේ කුරුණෑගල නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ.
මෙම විරෝධය හේතුවෙන් කුරුණෑගල නගරයේ ප්‍රධාන මාර්ග සියල්ලම අවහිර වී නගරයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති විය.
රථවාහන ගමනාගමනය අවහිර වීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ.
කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක විරෝධතාකරුවන් ගමන් කිරීම හේතුවෙන් නාවින්න මංසන්ධියේ සිට ඔරලෝසු කණුව දක්වා වන මාර්ග කොටසේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පොලීසියට සිදු විය.
මෙම විරෝධය කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ගුරුවරුන් විශාල පිරිසක් එක්ව සිටි අතර කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල අසලට එක්වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එතැන සිට ඔවුන් පාගමනින් කුරුණෑගල ඔරලෝසු කණුව අසලට පැමිණ එතැන තම තම විරෝධය දැක්වූහ.
එක්දහස් නවසිය අනූහතේ සිට පවතින විදුහල්පති ගුරු වැටුප් විෂමතාවයට මෙතෙක් පැවති කිසිදු රජයකින් විසඳුමක් නොලැබුණු බවද පවතින රජයද බලයට පත් වීමට පෙර ලබා දුන්න පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කර නැති බවද මෙම විරෝධයට සහභාගි වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දුන්හ.
ගුරු විදුහල්පති වැටුප් අරගලය බොරු පොරොන්දු වලින් සහ ව්‍යාජ ලිපි ලේඛන වලින් රජයට මඟ නොහැරිය බවද තම ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් රජය දැක්වුයේ නැතිනම් මීට වඩා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියට ගන්නා බවද ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් අවධාරණය කළහ.
ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු විදුහල්පති වෘත්තීය සමිති රැසක ක්‍රියාකාරීන් සහ සාමාජිකයන් මෙම විරෝධයට එක්ව සිටියහ. ඉතා සාමකාමීව විරෝධතාවය පැවැත්විනි.
මෙම විරෝධය හේතුවෙන් කුරුණෑගල නගරයට පොලිස් නිලධාරීන් ගෙන්වා විශේෂ ආරක්ෂාවක් යෙදවීමටද පියවර ගෙන තිබුණි.
ගිතාංජලි ප්‍රියදර්ශනි