ශ්‍රී ජයවර්ධනපුර ජපන් මිත්‍රත්ව පාර අසල කිඹුලාවල ජලාශය ආශ්‍රිතව මේ දිනවල සිදුවන සංවර්ධන කටයුත්ත ජලාශය ඉවුරේ සිදු වන ගොඩ කිරීමක් නොවන බවත්, පෞද්ගලික ආයතනයක ධන පරිත්‍යාගයකින් හා තාක්ෂණික දායකත්වයකින් යුතුව බෞද්ධ විනය කර්ම සඳහා අවශ්‍ය සීමා මාලකයක් ඉදිකිරීමේ කටයුතු එහි සිදුවන බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මෙම විශේෂ සීමා මාලකය ආරම්භයේදී සැලසුම් කර ඇත්තේ ජලාශය මත පාවෙන ව්‍යුහයක් සේ සකස් කිරීමට වුවද පසුව තාක්ෂණික සීමා හා බාධා හේතුවෙන් එය සාමාන්‍ය සීමා මාලකයක් ලෙස ජලය තුළ සවිකරන ලද කණු මත රැඳවීමට තීරණය කරනු ලැබ ඇත.
එම කණු සවි කිරීම සඳහා අවශ්‍ය පාදම ජලය යට ඉදිකිරීම අත්‍යවශ්‍ය කරුණක් වන හෙයින් ඒ කටයුත්ත සඳහා විශේෂඥ දැනුම ඇති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහාය ලබාදෙන ලෙස එම ආයතනය විසින් ඉල්ලීමක් කර තිබේ.
මහා නගර සැලසුම තුළ ප්‍රමුඛත්වය දරන ආධ්‍යාත්මික සංවර්ධන කටයුත්තක් සේ සලකා සංස්ථාව සහ අමාත්‍යාංශය ඒ සඳහා සහාය ලබාදීමට එකඟ වූ බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පාදම ඉදිකිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ අදාළ ස්ථානයට රැගෙන යෑම සඳහා ප්‍රවේශ මාර්ගයක් අවශ්‍ය වූ බැවින් එවැන්නක් මේ වනවිට තාවකාලික පදනමින් ඉදි කෙරෙමින් පවතින බවත්, දැනට ගොඩ කිරීමක් සේ පෙනී යන්නේ මෙම තාවකාලික ප්‍රවේශ මාර්ගය සකස් කිරීමේ කටයුත්ත බවත් අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සීමාමාලකය සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් කණු සහිත ව්‍යුහය තැනීමෙන් අනතුරුව එම තාවකාලික ප්‍රවේශ මාර්ගය ඉවත් කිරීමට නියමිත අතර, මෙම කටයුතු ඉදිරි මාසය ඇතුළත නිම කිරීමට සැලසුම් කොට ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
එසේම මෙම ක්‍රියාවලිය හරහා කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට ඉඩම් ලබාදීමක් සිදු නොවන බවත්, එය ප්‍රදේශයේ ජල රැඳවුම් ධාරිතාවට හෝ ගංවතුර තත්ත්වයක් ඇති වීම සඳහා හේතුවක් නොවන බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.