· ශ්‍රී ලංකාවේ පළමු හරිත විද්‍යාලය
· සියලු දෙනාටම විදුලිය
· සියලු දෙනාටම පානීය ජලය
· සියලු දෙනාටම ජාතික හැදුනුම්පතක්
· සියලු දෙනාටම උප්පැන්න සහතිකයක්
· නිවසට, ඉඩමට ඔප්පුවක්
· හරිත නව නගරයක්
· සෑම දරුවෙකුටම අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අනිවාර්යය අධ්‍යාපන ක්‍රමවේදයක්
· අ.පො.ස. සා /පෙළට පසු සෑම දරුවෙකුටම වෘත්තීය පුහුණුවක්
සෞභාග්‍යයේ දැක්මට අනුව සියලු මූලික අයිතිවාසිකම් තහවුරු කරන පළමු මැතිවරණ කොට්ඨාසය බවට කඹුරුපිටිය පත්කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
“කඹුරුපිටියේ අනාගතය වෙනුවෙන්වන දස මහා යෝධ අභිලාශයන් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ වසර අවසන් වීමට ප්‍රථම කඹුරුපිටියේ සෑම පුරවැසියෙකුටම ජාතික හැදුනුම්පතක්, උප්පැන්න සහතිකයක් ලබාදීමේ ව්‍යාපෘතියක් දියත් කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාවගේ විදුලිය, පිරිසිදු පානීය ජලය ගැටළුව තවදුරටත් ගැටලුවක් නොවිමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා.
එළඹෙන අප්‍රේල් මස වනවිට විදුලිය නොමැති සියලු නිවාස වලට විදුලිය ලබාදෙන අතරම පානීය ජල ගැටලුව වෙනුවෙන් ඊරියතොට තිබෙන ජල සම්පාදන යෝජනා ක්‍රමය, ජල සම්පත් මණ්ඩලය වෙත පැවරිමත්, යටියන ජල යෝජනා ක්‍රමයට මුල්ගල් තැබීමත් සිදු කරනවා.
කඹුරුපිටිය ජීවත්වන දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ව්‍යාපෘතියක් මෙන්ම සාමාන්‍ය පෙළ අසමත්වන දරුවන් විශේෂ කුසලතා ඇති දරුවන් බවට පත්කිරීම වෙනුවෙන් NVQ 4 මට්ටමට සමානවන විශේෂ වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් ඇරඹීමටත් කටයුතු කරනවා. කඹුරුපිටිය හරිත ප්‍රදේශයක් බවට පත්කරමින්, කඹුරුපිටිය මහා විද්‍යාලය හරිත විද්‍යාලයක් බවට පත්කිරීමටත් කටයුතු කරනවා” යැයි ඔහු පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පසුගියදා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කළ සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති රාශියක සමාරම්භක අවස්ථාවන්ට සහභාගීවීමෙන් අනතුරුව පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.
“පෙබරවාරි කියන්නේ කෙටි මාසයක්. නමුත් විදුලිබල ක්ෂේත්රයේ රටම වෙනස් කරන ව්‍යාපෘති රාශියක් මෙම මාසය තුළ අපි ආරම්භ කළා. පළමු එල්.එන්.ජී. බලාගාරය ආරම්භ කිරීම, කසල වලින් විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම, ඒකකයක් රු. 30.00 ක් පමණ මුදලකින් වාර්ෂිකව ඒකක බිලියන 16 ක් පමණ නිපදවන විදුලිය, ඒකකයක් රු.14.00 ක් වැනි මුදලකින් නිපදවීමට, ඩීසල් බලාගාර එල්.එන්.ජී. බවට පත්කිරීම වෙනුවෙන් ලංකාවේ පළමු එල්.එන්.ජී. සැපයුම නල මගින් කෙලවරපිටියට ලබාදීමේ ජාත්‍යන්තර ටෙන්ඩරය කැදවීම ආදි විදුලිබල ක්ෂේත්රයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයන් කිහිපයක් සනිටුහන් කරන්න අපට හැකිවුණා.
ඒ වගේම කිලෝවොට් 100 බැගින් වූ කුඩා සූර්යබල ව්‍යාපෘති දහසේ වැඩසටහනේ පළමු ව්‍යාපෘති 800 වෙනුවෙන් ලන්සු කැදවීම ලබන මස සිදුකරන්න අපි සූදානම්” යැයි පැවසීය.