රාජකාරියේ යෙදී සිටියදී රුපියල් 50,000ක කප්පම් මුදලක් ලබා ගැනීමේ චෝදනාවට, මීට වසර දහයකට පෙර වැඩ තහනමට ලක්වූ ගාල්ල පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (18දා) රුපියල් ලක්ෂ 3කට වැඩි හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල, අක්මීමන, අලුත් කනත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක පුද්ගලයෙකි. හිටපු කොස්තාපල්වරයා 2002 වසරේ දී පොලිස් සේවයට එක්ව ඇති අතර, සැකකරු කාලයක් තිස්සේ උසස් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිට ඇති බවද පොලිසිය කියයි.
සැකකරු 2012 වසරේ දී ගාල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී රුපියල් පනස් දහසක කප්පම් මුදලක් ලබා ගැනීමේ වරදට සහ ඊට ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගෙන සේවය අත්හිටවූ පුද්ගලයකු බව පොලීසිය පවසයි.
සැකකරු වැඩ තහනමට ලක් වීමෙන් අනතුරුව ගාල්ල සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කර ගනිමින් 'ඊසි කෑෂ්' ක්‍රමයට හෙරොයින් මත් කුඩු වෙළදාම සිදු කර ගෙන ගොස් ඇති බවත්, ඔහු විසින් අනුරාධපුර බන්ධනාගාරය සහ උසාවිය අසල රැඳී සිටිමින් හෙරොයින් නඩු වලට බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගේ බිරින්දෑවරුන් සමග සම්බන්ධතා ඇති කර ගනිමින් මෙම ජාවාරම මහා පරිමාණයෙන් සිදු කර ගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය සඳහන් කළේ ය .
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 4300 ක ප්‍රමාණයක් තිබී හමුවූ බවද මෙසේ කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් කොස්තාපල්වරයා අද (19දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.