පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරිදි කටයුතු සිදු නොවන්නේ නම් ජාත්‍යන්තර අධිකරණයට යෑමට සූදානම් බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.
ඒ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“විමර්ශනවල අඩුපාඩු තිබෙනවා. අඩුපාඩු මකා ගැනීමට මම යම් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටිනවා. කොහොමහරි යම් යම් දේවල් වල සත්‍යතාව අපි සොයාගත යුතුමයි.
මේක අපිට බලාගෙන ඉන්න බෑ. හැකි ඉක්මනින් අපිට පිටපතක් ලැබීමට සලස්වන්න. එතකොට අපිට ප්‍රශ්නයට විසඳුම් සොයා ගන්න පුළුවන්.
කොමිසමට මමත් සාක්ෂි දුන්නා. ඒ වෙලාවේ කොමිෂමෙන් ඉල්ලීමක් කළා ප්‍රහාරය වලක්වන්න කටයුතු නොකරපු අය ගැන විතරක් හොයන්නේ නැතිව මේ ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්න අය හොයන්න කියලා.
මම හිතනවා මේ කොමිෂන් සභාව ඒ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් දක්වයි කියලා. මේ ප්‍රශ්නයට පිළිතුරු බලාපොරොත්තු වෙනවා. වින්දිතයන් අහන්නේ ඇයි අපිට මෙහෙම කළේ කියලා. කවුද මේක කළේ කියලා ඒ අය බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපේ ජනතාව මීට වඩා ඉවසන්න සූදානම් නෑ. අපිට රජයෙන් හා කොමිෂන් සභාවෙන් සාධාරණයක් වුණේ නැත්නම් අපිට වෙනත් තීරණ ගන්නට සිද්ධවෙයි ජනතාවක් හැටියට.
වාර්තාවෙන් පස්සේ රජය මොනවද කරන්නේ කියලා බලන්න ඕන. එහෙම නොවුණොත් අපි ජාත්‍යන්තර සංවිධාන තිබෙනවා පිටරටවල. ඒ සංවිධානවල සහාය අපි බලාපොරොත්තුවෙනවා අපිට සාධාරණයක් ඉටුකර ගන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරලද නැත්ද කියලා මට සෑහීමට පත්වෙන්න බෑ. එක කරුණක් සම්බන්ධයෙන් මම යම්කිසි විකල්ප වැඩසටහනකට යොමුවෙලා තිබෙනවා. ඒක ඔබට දැනගන්න ලැබේවි. මම ඒක අධිකරණය හරහා සිදු කරන්නේ”