විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා ලබාදුන් තීන්දුව ඉතා පුළුල් හා දීර්ඝ අධ්‍යයනයකින් පසුව ලබාදුන් තීන්දුවක් බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එම තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් පවසන අදහස්වලට ප්‍රතිචාර දක්වමින් කථානායක මාධ්‍ය ඒකකය අද නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.
එසේම කථානායක ලෙස පත්වීමෙන් අනතුරුව කරු ජයසූරිය මහතා ස්වාධීනව කටයුතු කර ඇති බවත්, ඔහු මේ දක්වාම එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙනත් කිසිඳු දේශපාලන පක්ෂයක කාර්යාලයකට ගොස් නොමැති බවත් එම නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.
“පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය පිළිබඳව කථානායකවරයා විසින් ලබාදුන් තීන්දුව පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් මාධ්‍ය ඔස්සේ ද්වේශ සහගත අපහාස කිරීම් සිදුකිරීම ගෙවී ගිය දින කිහිපය පුරාම නිරීක්ෂණය කළ හැකි විය.
කථා නායකවරයා විසින් විපක්ෂ නායක ධුරය පිළිබඳව ස්වකීය තීන්දුව ගනු ලැබූයේ ඉතා පුළුල් සහ දීර්ඝ අධ්‍යයනයකින් පසුව බව අවධාරණය කරමු. මේ සඳහා දේශීය හා විදේශීය විශාරදයන්ගේ අදහස්, අනෙකුත් ප්රජාතන්ත්රවාදී රටවල පවතින සම්ප්‍රදායන් හා පොදු රාජ්‍ය මණ්ඩලීය හා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්රමිතීන්ද විමසා බැලීම සිදු විය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 143ක් විසින් අනුමත කරන ලද ස්ථාවර නියෝග 47(1) (ඇ) විධිවිධානය ඇතුළත් සැප්තැම්බර් 05 වැනි දින සම්මත කළ යෝජනාවද මෙම තීරණය ගැනීමේදී උපයෝගී කර ගනු ලැබීය.
මීට ඉහත විපක්ෂ නායකවරුන් පත් කළ අවස්ථා හා මෙරට ජාතික ආණ්ඩු සංකල්පය හරහා පළමු වරට පත් කළ මෙම පත්වීමේ පසුබිම වෙනස් බව අවබෝධ කර නොගෙන මෙවැනි අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම අතිශයින් අසාධාරණ බව සඳහන් කළ යුතුව ඇත.
කථා නායක කරු ජයසූරිය මහතා එම ධුරය භාර ගත් 2015.09.01 දින සිට අද දක්වා සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් වියුක්තව ස්වාධීනව කටයුතු කර ඇති අතර කිසිදු බලපෑමකට යටත් නොවූබවද, කථානායක ධුරයට පත් වූ දින සිට මේ දක්වා කාලය තුළ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක කාර්යාලයකට හෝ නොගොස් සපුරා දේශපාලන ක්‍රියාදාමයන්ගෙන් බැහැරව අපක්ෂපාතීව කටයුතු කළ බවද අවධාරණය කරමු.
ලෝකයේ ප්රජාතන්ත්රවාදී රටවල සම්ප්රදාය වනුයේ කථානායකවරයා විසින් දෙනු ලබන තීරණය පිළිගැනීම හෝ එසේ නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදීව ඊට අවශ්‍ය ඊළඟ පියවර ගැනීමයි. එසේ නොමැතිව, තමන් අපේක්ෂා කරන මතය ප්‍රකාශ නොකළ පමණින්ම ඊට පරිබාහිර මතයන්ට සහ පුද්ගල චරිතයන්ට නිර්දය ලෙස පහර දීමත්, පදනම් විරහිත සහ පහත් අන්දමේ විවේචනයන්ට ලක් කිරීමත් ශීලාචාර සමාජයක් විසින් අනුමත නොකරනු ඇති බවද සඳහන් කරමු.”