උතුරු නැගෙනහිර පළාත්වල සිට වාර්ෂිකව පාගමනින් කතරගම බලා වන්දනාවේ එන බැතිමතුට බැතිමතුන්ට කුමන සහ යාල ජාතික උද්‍යානය වලට ඇතුලුවීමට කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු 20දා පාන්දර විවෘත කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
ජූලි 04දා කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු යලි වසා දමන බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. පාදයාත්රාවේ එන බැතිමතුන්ට කතරගම බලා එදිනට පසුව කුමන සහ යාල හරහා පැමිණිමට අවසර නොලැබේ.
කතරගම පෙරහරට සහභාගිවීමට උතුරු නැගෙනහිරින් තිස්පන් දහසකට වැඩි බැතිමතුන් පිරිසක් වාර්ෂිකව කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා පාගමනින් එති. පාද යාත්‍රාව ලෙස මෙම ගමන හදුන්වනු ලබයි.
තරුණ, බාල, මහලු විවිධ වයස් කාණ්ඩවලට සහ විවිධ රැකියාවල නිරත මෙන්ම විශ්‍රාමික කාන්තා මෙන්ම පිරිමිනිද මෙම පාදයාත්‍රාවට එක්ව සිටිති. සමහරු අතදරුවන්ද වඩාගෙන සහභාගිවන දැකිය හැකිය. කතරගම දෙවිදුන් වල්ලි අම්මා සොයා ලංකාවට ගොඩබැස්සේ ඔකද දේවාලය අසල මුහුදෙන් යැයි හින්දු බැතිමතුන්ගේ විශ්වාසයක් පවතී. ඔවුන් මේ ගමන යන්නට පෙර මාසයක්, දෙකක් නිර්මාංශව, මත්ද්‍රව්‍ය ආදිය භාවිත නොකර පේවීම ද පාදයාත්‍රා ගමනේ ලක්ෂණයකි.
කල් ඇතිව උතුරු නැගෙනහිරින් එන දහස් ගණන් හින්දු බැතිමත්හු කුමන ගේට්ටු විවෘත කරන තෙක් ඒ අසන්නයේ ඇති ඔකද දේවාල භූමියේ රැදි සිටිති. කුමන ජාතික උද්‍යානයෙන් අතුලුවන බැතිමතුන් කුමන ජාතික උද්‍යානයේ බාගුරාව සහ මඩමෙතොට හෙවත් කුඩා කැබිලිත්ත, යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙකේ ගජබාව, පිළින්නාව හෙවත් ලිං තුන, පොත්තන, මැණික් ගගේ අලුත් තොටුපළ, වරහන යන ස්ථානවල රැය පහන්කරති. ඉන්පසු යාල කලාප අංක එකට පිවිස ( සාමාන්‍ය සංචාරකයන් සතුන් බලන්නට එන කොටස) කටගමුව ගේට්ටුවෙන් එළියට පැමිණෙති.
එතැන් සිට කතරගම බලා එන හින්දු බැතිමන් කල් ඇතිව පැමිණියහොත් කොච්චිපතානේ හින්දු කෝවිල ආශ්‍රයේ දින කිහිපයක් නැවති සිට කතරගම බලා පැමිණෙති.
පාද යාත්‍රාවේ එන බොහෝ හින්දු බැතිමතුන් කුමන සහ යාල ජාතික උද්‍යානවල රාත්‍රී හතරකට වැඩි කාලයක් වන සතුන් ඇසුරේ කාලයගත කරමින් පැමිණෙති. පාදයාත්‍රාවට දුරින්ම එන හින්දු බැතිමතුන් කණ්ඩායම වු නාගදීපයේ සිට එන කණ්ඩායම වෙසක් පොහොය දිනට පසුදින පිටත්විය.
පාද යාත්‍රාවේ එන බැතිමතුන්ගේ මුලික පහසුකම් කුමන සහ යාල කලාප අංක දෙක ජාතික උද්‍යානවල සුදානම්කර ඇති බව ද වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. විශාල සහ කුඩා කණ්ඩායම් ලෙස පැමිණෙන බැතිමතුන් වනාන්තරයේදී තම තමන්ට අවශ්‍ය ආහාර පිස ගැනීම සාමාන්‍ය සිරිතයි. කුමන ජාතික උද්‍යානයේ බාගුරාවේ රාත්‍රී නවාතැන් ගන්නා බැතිමතුන්ට 20දා රාත්‍රී අහාරය සැපයිමට දන්සලක් පැවැත්වීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අම්පාර දිසාවේ නිලධාරීහු පියවරගෙන ඇත.
යාල කලාප අංක දෙකේ කටුපිළ දී සුපුරුදු පරිදි මෙවරත් බත් දන්සැල පවත්වන බව දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග මහතා පැවසුවේය.
කතරගම පෙරහර මංගල්‍යය ජුනි මස 26 දින ආරම්භ වෙයි. මහපෙරහර ජූලි 10 දින වීථි සංචාරය කරයි. පාද යාත්‍රාවේ එන බැතිමතුන් කතරගම පෙරහර මංගල්‍යයට එක්වීමේ අරමුණින් වසර දෙසීයක අතීතයේ සිට මෙසේ පාගමනින් පැමිණෙති. ජූලි 11දා දිය කැපීමේ මංගල්‍යයෙන් පසු කතරගම පෙරහර කටයුතු අවසන්වීමෙන් පසු මෙම බැතිමතුන් බස්සහ වෙනත් වාහන වලින් ගම්බිම් බලා යති.
මෙසේ පාද යාත්‍රාවේ එන බැතිමතුන් කුමන සහ යාල ජාතික උද්‍යානවලට වාර්ෂිකව නොදිරණ කසළ ටොන් තිහ හතළිහක් පමණ හෝ ඊට වැඩිපුර මුදාහරින බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. එසේ එකතුවන ප්ලාසිටික්, පොලිතීන් වැනි නොදිරණ කසල යුදහමුදාව, නාවික හමුදාව, ස්වේච්ඡා සංවිධාන එකතුව එකතුකර ජාතික උද්‍යානවලින් ඉවත් කරන බවද වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.