කතරගම ඇසළ මංගල්‍යයේ පළමු පෙරහර අද
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහර අද (15) රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.අද රාත්‍රියේ සුබ මොහොතින් ‘වාසනා’ මංගල හස්තියා පිට සර්වඥ ධාතූන් වහන්සේ හෝ දේව ප්‍රතිමාව වැඩමවාගෙන මහා වීථිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත පැමිණ, චාරිත්‍ර ඉටුකර නැවත මහ වීථිය ඔස්සේ මහා දේවාලය වෙත ගෙවැදීමෙන් පෙරහර අවසන් වන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතා පැවසීය.
කතරගම ඇසළ මංගල්‍යය පුරා දින 15ක් පැවැත්වෙන අතර, අවසන් මහා පෙරහර ජූලි 29 වැනිදා පවත්වා 30 වැනිදා උදෑසන මැණික් ගඟේ දිය කැපීමේ උත්සවයෙන් නිමාවට පත්වේ.
එමෙන්ම දෙවියන්ගේ වෙලෙන් අස්වද්දන ලද වී සහ සහල් රැගත් ගව තවලම ඊයේ (14) දින කතරගම මහා දේවාල පරිශ්‍රය වෙත පැමිණියේය. දුටුගැමුණු මහ රජතුමාගේ රාජ්‍ය අණ හා සම්ප්‍රදායන් සුරකිමින් මෙම චාරිත්‍රය සෑම වසරකදීම නොපිරිහෙළා ඉටු කරනු ලබයි.
දුටුගැමුණු රජතුමා විසින් කතරගම දෙවියන් උදෙසා නින්දගමක් ලෙස බුත්තල, පැල්වත්ත, ගම්පහ ප්‍රදේශයේ පිහිටි ‘දෙවියන්ගේ වෙල’ නම් කුඹුරුයාය පවරා දී ඇත. පැරණි ක්‍රමයට අනුව ගවයන් යොදා සී සා, අස්වනු නෙළා, ඉතා පිරිසිදුව සකස් කරගන්නා ලද වී සහ සහල් මෙලෙස ගවයන් පිට පටවා කතරගමට රැගෙන එනු ලැබේ. මෙම තවලම බුත්තල, ගෝනගංආර සහ යාල අංක 02 කලාපයට අයත් කතරගම මාර්ග ඔස්සේ ගමන් කරමින් දේවාලය වෙත ළඟා වේ.
මෙසේ රැගෙන එන වීවලින් කොටසක් කතරගම දෙවියන්ගේ දානය (මුරුතැන් පූජාව) වෙනුවෙන් වෙන් කෙරේ. ඉතිරි වී කොටස දේවාලයේ රාජකාරිකරුවන් වෙත ‘සේරුවෙන් මැන’ බෙදා දීමට දේවාලයේ මහා බෙත්මේ ලේකම් සහ කුඩා බෙත්මේ ලේකම්වරයා කටයුතු කරති.
අතීතයේ මංමාවත් හෝ ප්‍රවාහන පහසුකම් නොතිබූ යුගයේදී ද දෙවියන්ගේ වෙලේ වී කතරගම දේවාලය වෙත රැගෙන ආවේ මේ අයුරිනි. වර්තමානයේදී ද කතරගම දේවාලයේ පැරණි පුද පූජා චාරිත්‍ර කිසිදු වෙනස් කිරීමකින් තොරව, එදා රජ අණ පරිදිම එලෙසින්ම ඉටු කිරීම සුවිශේෂී වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

