සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධවන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ.
එම ව්‍යාපෘතිය යටතේ මේ වනවිට වැඩ අවසන් කර ඇති කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙරට ඉදිකර තිබෙන සියලුම අධිවේඟී මාර්ග කඩවත නගරයේදී එකිනෙක සම්බන්ධවේ. එබැවින් අධිවේගී මාර්ග භාවිතා කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමේ පහසුකම මගී ජනතාවට ලැබේ.
මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා රජය වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 377 කි. 2019 වසරේ මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර 2021 වසරේ මෙහි ඉදිකිරීම් අවසන් කර ඇත. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක මෙය ඉදිකර තිබේ. මෙහි බස්රථ 25 ක් පමණ ගාල් කළ හැකි බස් රථ පර්යන්තයක් ඉදිකර තිබේ.
ඊට අමතරවකාර්යාලීය වාහන නතර කළ හැකි රථ ගාලක් සහ නවීන පන්නයේ ආපන ශාලාවක් ඉදිකර ඇත. එමෙන්ම මෙහි උමං මාර්ගයක්ද ඉදිකර ඇති අතර ඒ දෙපස කඩකාමර 18ක් ඉදිකර ඇත.
කොවිඩ් වයිරස ව්‍යාප්තිය හා රටේ පැවති අරගලකාරී තත්ත්වය හේතුවෙන් මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කිරීම වසරකට අධික කාලයකින් ප්‍රමාදවිය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ නවීන පහසුකම්වලින් යුතු කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාස ගණනාවක් තිස්සේ විවෘත නොකිරීම හේතුවෙන් මහජනතාව සහ බස්රථ හිමියන් මේවන විට දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවයි.
එබැවින් මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා නිළධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.
