කටුබැද්ද ලංගම ඩිපෝවෙන් බස් රථ වලට ඩීසල් ඉන්ධන කිරීමේදී සිදු වී ඇතැයි කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ කණ්ඩායමක් මඟින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
රත්මලාන ඩිපෝවේ බස් රථ වලට ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ලබා දුන් මුදල් වලට රිසිට් පත් නිකුත් කිරීමේදී මෙම වංචාව සිදුවී ඇති බව මේ වන විට අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කීය.
සිදුකළ මූලික විමර්ශනවල දී පමණක් ඉකුත් සති තුනක කාලය තුළ අවස්ථා හතරකදී ඩීසල් ලීටර් 100,200 ,300 හා 400 වශයෙන් ලීටර් 1000 ක ප්‍රමාණයක කටුබැද්ද ලංගම ඩිපෝවට අය විය යුතු රුපියල් 310 000 මුදලක් එලෙස වංචා කර ඇති බව අනාවරණය වී ඇත.
එලෙස වංචා ඇත්තේ රත්මලාන ඩිපෝවෙන් ඉන්ධන ලබා ගැනීම උදෙසා කටුබැද්ද ඩිපෝව වෙත ලබාදුන් මුදල් වලින් බවට අනාවරණය වී ඇත.
කටුබැද්ද ඩිපෝවේ මුදල් අයකැමිවරයා මුදල් කොට්ඨාසයේ (ඒ 10) පොතේ පළමු පිටපතේ එකී අයුරින් අදාළ මුදල කාබන් කොළයක් නොමැතිව නිසි අයුරින් සටහන් කර රත්මලාන ඩිපෝවෙන් පැමිණෙන නිලධාරියා වෙත එහි මුල් පිටපත ලබා දී එහි දෙවන පිටපතේ අඩු මුදලක් සටහන් කර මෙම මුදල් වංචාව සිදුකර ඇති බවට මේ වන වනවිට අනාවරණය වී ඇත.
එලෙසම මීට පෙර අවස්ථා වලද මෙවැනි වංචා සිදු වී ඇත්දැයි තවදුරටත් සොයා බලන බව එම නිලධාරියා කීය. වංචාව සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය වී ඇත්තේ ඉන්ධන ගබඩා වේ නිලධාරියා සිදුකළ විමර්ශනයකදී බව උසස් නිලධාරියා කීය.
වංචාව සම්බන්ධයෙන් මේ වන විටත් කටුබැද්ද ලංගම ඩිපෝවේ කළමනාකාර විසින් මෙම වංචාවට අදාළ සියලු ලේඛන මොරටුව පොලිසිය වෙත ඉදිරිපත් කර පැමිණිල්ලක් ද සිදුකර ඇතැයි ද උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.