නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි ජංගම දුරකථන 323 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සහ ඒවා රැගෙන යමින් තිබූ වෑන් රථයක් ද පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් 01/03 දින සවස කොළඹ - කටුනායක අධ්වේගී මාර්ගයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .
මෙම ජංගම දුරකථන තොගය අතර භාවිතා නොකළ නව ජංගම දුරකථන 246 ක් සහ විදේශ රටවල භාවිතා කළ ජංගම දුරකථන 77 ක් තිබූ බව එම නිලධාරීවරයා පැවසීය .
කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු සහ වත්තල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු මෙම ජංගම දුරකථන තොගය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන කොළඹ බලා රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් ක්ෂණික මාර්ග බාධකයක් යොදා , මෙම වෑන් රථය නවතා , මෙම වැටලීම සිදු කර තිබේ.
මේ වනවිට අත් අඩංගුවට ගත් ජංගම දුරකථන තොගය , ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනා සහ ඔවුන් ප්‍රවාහනයට යොදා ගත් වෑන් රථය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පෑලියගොඩ මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ .