ළාබාල තරුණියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ ආයතනයක් මගින්, නීතිවිරෝධී ලෙස කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා පිටත් කිරීමට තැත් කරමින් සිටිය දී 10/13 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා යොමු කළ හැකි වන්නේ වයස අවුරුදු 21 ඉක්මවා ඇති තරුණියන් ය . එහෙත් මෙම තරුණිය 20 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
ඇය 10/13 දින උදෑසන 10.30 ට පමණ කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය විසින් මෙම ගුවන් ගමන පිටත්ව යාම සදහා අවශ්‍ය ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගැනිමෙන් අනතුරුව සිය විගමන කටයුතු සදහා ආගමන විගමන කවුළුව වෙත පැමිණ සිය ලියකියවිලි ඉදිරිපත් කර තිබේ.
එහිදී ඇය සතුව කටාර් රාජ්‍යයේ රැකියා කිරීම සදහා වීසා බලපත්‍රයක් තිබුණද , ඇය එම රැකියාව සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම , එරට රැකියා නියෝජිත සමග ඇති කර ගත් රැකියා ගිවිසුම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුව පිළිබඳ සහතිකය ද ඇය සතුව නොවීම නිසා ආගමන විගමන නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ .
ඉන්පසුව වැඩිදුරටත් ඇයගෙන් ප්‍රශ්න කිරීම් සිදු කිරීමේ දී ඇය කිසියම් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ඇති බවත් , ඇයට මෙම තරුණිය එහිදී රුපියල් 21,500 ක මුදලක් ලබා දී ඇති බවත් අනාවරණය කර තිබේ .
එසේම මෙම තරුණිය රැකියාවක් සදහා පිටත්ව යාමට ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිස සිටියදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවන්ට හසු නොවී තිබීම විශේෂත්වයකි .
මෙසේ අත් අඩංගුවට ගත් තරුණිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.