කටුනායක ගුවන්තොටුපොළේ මගී තදබදය අවම කිරීමට ගුවන්තොටුපොළ ගුවන් සේවා සමාගම පියවර ගෙන තිබේ.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි මහතාට හා උපසභාපති රජීව් සූරියආරච්චි මහතාට ලබාදුන් උපදෙස් පරිදි ආගමන විගමන නිලධාරීන් හා ගුවන්තොටුපළ බලධාරීන් අතර පසුගියදා මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කටුනායක ගුවන්තොටුපළේදී පවත්වා ඇත.
ඒ අනුව මේ වනවිට කටුනායක ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තයේ ගුවන් මගීන් වෙනුවෙන් වීසා කවුළු 19ක් ඇති අතර, පැමිණීමේ පර්යන්තයේ කවුළු 25ක් ක්‍රියාත්මක වේ. එම කවුළු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවේදී අනාවරණය වී ඇති අතර, ඒ අනුව එම කවුළු සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇත.
ඊට අමතරව මෙම සියලුම කවුළු සදහා ආගමන විගමන නිලධාරියෙකු යෙදවීමටද තීරණය කර ඇති අතර, වීසා සම්බන්ධයෙන් මගීන්ට කිසියම් ගැටලුවක් මතු වුවහොත් ඒ අවස්ථාවේදීම ඊට විසඳුම් ලබාදීම අරමුණ වී තිබේ.
ගර්භිණී මාතාවන් හා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් වෙනම වීසා කවුළුවක් වෙන් කිරීමට සාකච්ඡා කර ඇත.
ඊට අමතරව ගුවන් මගීන් සඳහා මාර්ගෝපදේශ ලබාදීමේ වැඩපිළිවෙළක්ද ගුවන්තොටුපොළ තුළ ක්‍රියාවට නැංවීමට නියමිත අතර, එම වැඩපිළවෙළ ගුවන්තොටුපළ ආරක්ෂක අංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.
විදේශගත වීම සඳහා පැමිණෙන ගුවන් මගීන් රටින් පිටවනතුරු හා දිවයිනට පැමිණෙන ගුවන් මගීන් ගුවන්තොටුපොළෙන් පිටවනතුරු ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම මේ අනුව සිදුකෙරුණු ඇත.