කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ කළුතර, දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරාධිපති, බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි මාහිමිපාණන් වහන්සේ වෙත ජනාධිපති උපහාර පිරිනැමීමේ විශේෂ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) පස්වරුවේදී පැවැත්විණි.
විහාරස්ථාන කිහිපයක ආධිපත්‍යය හොබවමින් දෙදියවල තිලකසිරි නාහිමියෝ ශාසනික හා සාමාජිය වශයෙන් ඉටු කරන ප්රශස්ත සේවය අගයමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් උන්වහන්සේ වෙත මෙම ධූරය පිරිනමා තිබේ.
අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබා ගත් අතර, විහාරස්ථානයේ අභිනව ධර්මශාලා මන්දිරය සඟ සතු කොට පූජා කිරීමද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදුවිය. අනතුරුව ජනාධිපතිවරයා අනුනාහිමි උපහාර උත්සවය සඳහා එක්වූ අතර, අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. අතිපූජ්‍ය දෙදියවල තිලකසිරි අනුනායක, සමරු කලාපය කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය ආර්.එම්. ඩබ්ලිව්. රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගන්වන ලදී.
ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි, කෝට්ටේ ශ්‍රී කල්යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල, පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත, ජපන් මිත්‍රත්ව පදනමේ අධ්යක්ෂ සහ ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සි යන නායක හිමිපාණන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍ය රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.