මෙරට තුළ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා අවශ්‍ය වන ඖෂධ, වකුගඩු රෝගීන්, ජලභීතිකා රෝගය ඇතුළු රෝග ගණනාවක් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීම හේතුවෙන් සහ පරිත්‍යාගශීලීන් ලබා දෙන රුධිරය එකතු කර ගැනීමට සඳහා ලේ බැංකුව සතුව ප්ලාස්ටික් කවර, පරීක්ෂණ කට්ටල නොමැතිවීම හේතුවෙන් මෙරට ජනතාවගේ ජීවිත මේ වන විට බරපතළ අවදානමකට ලක්ව ඇති බව ඖෂධවේදීන්ගේ සංගමය පෙන්වා දෙති.
මෙරට රෝගී ජනතාව සුවපත් කර වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, රජය සහ ජනාධිපතිවරයා සතුව මේ වන විට නිසි වැඩපිළිවෙලක් නොමැති බවත් ඖෂධ නොමැති කමින් ජීවිතක්ෂයට පත්වන සියලු දෙනාගේ ජීවිත පිළිබඳව වගකීම රජය භාර ගත යුතු යැයිද රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය පවසයි.
රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී පෙරේරා මහතා අද (27දා) අනුරාධපුර පැවති මධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද කීය.
"ලංකාවේ ලේ පරිත්‍යාග කිරීමට බොහෝ දෙනෙක් ස්වකැමැත්තෙන් කටයුතු කරනවා. මිනිස්සු ඕන තරම් ලේ පරිත්‍යාග කිරීමට සූදානමින් ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට, රජයට ඒ සම්බන්ධයෙන් කිසිදු උවමනාවක් නැහැ. ලේ එකතු කිරීම සඳහා අවශ්‍ය ප්ලාස්ටික් කවර නැහැ. රට තුළ ඒවායේ දැඩි හිගයක් තිබෙනවා. එම නිසා මේ වන විට පිළිකා රෝහලට එන සමහර රෝගීන් වෙනදා ලේ පයින්ට් තුනක් දුන්නනා නම් දැන් දෙන්නේ එකයි.
එම රෝගීන්ට කියනවා දවස් 3කින් 4කින් ඇවිත් නැවත ලේ පරීක්ෂා කර ගන්න කියලා. ඕනෑ තරම් ලේ පරිත්‍යාග ශීලීන් සිටින ලංකාවේ, ඒ අයගෙන් අවශ්‍ය රුධිරය ලබා ගෙන රෝගීන් සුවපත් කිරීම කිරීම සඳහා රජයට අවශ්‍යතාවයකුත් නැහැ. නිසි වැඩපිළිවෙල කුත් නැහැ.
පරිත්‍යාගශීලීන් ගෙන් ලේ ලබා ගත්තට පස්සේ රුධිර පට්ටිකා, සුදු රුධිරානු ලෙස එය කොටස් වලට වෙන් කරනවා. එහෙම වෙන් කිරීමෙන් අනතුරුව තමයි සුදු රුධිරාණු අඩු වූ රෝගීන් සදහා සුදු රුධිරාණු පමණයි ලබා දෙන්නේ, රුධිර පට්ටිකා අඩු වූ රෝගීන් සදහා රුධිර පට්ටිකා පමණයි ලබා දෙන්නේ. මේ සදහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල (කිට්) නැහැ. මේ හේතුවෙන් රුධිර ප්‍රතිකාර ලබන රෝගීන් මේ වන විට බරපතළ අවදානමකට ලක් වෙලා තිබෙනවා.
ලංකාව තුළ මේ වන විට තවමත් ජල භීතිකා රෝගය තුරන් කරල නැහැ. ජලභීතිකාව වැළඳුණු සුනඛයෙක් යම්කිසි පුද්ගලයෙක්ව සපා කෑ විට ප්‍රතිශක්තිකරණය වැඩි කරවීමට එන්නතක් ලබා දෙනවා එම එන්නත මේ වන විට ලංකාවේ නැහැ. යම්කිසි පුද්ගලයකු හට ජල භීතිකා රෝගය වැළඳීම නැවැත්වීම සඳහා රජය සතු කිසිදු වැඩ පිළිවෙළක් මේ වන විට නැහැ.
වකුගඩු රෝගියෙකු සුවය ලබන නිශ්චිත ප්‍රතිකාරය තමයි වකුගඩුවක් බද්ධ කිරීම, එසේ වකු ගඩුවක් බද්ධ කළ විට එම රෝගියාට දෙන ඖෂධ වට්ටෝරුවක් තිබෙනවා. මෙම ඖෂධ එම රෝගියාට නිසි මාත්‍රාව අනුව නිසි වේලාවට අනිවාර්යෙන් ගත යුතු වනවා. එසේ නොමැති වුව හොත් එම බද්ධ කළ වකුගඩුව ශරීරයෙන් ප්‍රතික්ෂේප කරනු ලබනවා. ලංකාවේ වකුගඩුවක් බද්ධ කිරීම ඉතා අමාරු කාර්යයක්, මුලින්ම වකුගඩුවක් සොයා ගන්න ඕනේ. ඊට පස්සේ එය ගැලපෙන්න ඕනේ. එය ලොකු වැඩ පිළිවෙළක්. ඖෂධ නොමැතිව වුව හොත් එම සම්පූර්ණ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප වෙනවා, මේ සම්බන්ධයෙන් බෙහෙත් කිසිවක් ලංකාවෙ නැහැ මේ වන විට.
ඒ වගේම තමයි හදිසි රෝගියෙකුට හෘදයාබාදයක් වැළඳුන හොත් නැවත සිහි ගැන්වීම සඳහා අවශ්‍ය ඖෂධ තිබෙනවා, ඒ වගේම තමයි ශල්‍යාගාර වල රෝගීන් සිහි නැති කිරීමට සහ සිහි ගැන්වීමට අවශ්‍ය ඖෂධ තිබෙනවා. මේ ඖෂධ සියල්ලම මේ වන විට නැහැ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල්වලට ලිපියක් යවා තිබෙනවා, රෝහල් තුළ සිදු කළ යුත්තේ මොන ශල්‍ය කර්මද, නොකරන්නේ මොන ශල්‍යකර්මද කියලා තීරණයක් කරන්න කියලා. මේ වන විට රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා රෝගීන් ඉතා විශාල පිරිසක් පොරොත්තු ලේඛන වල සිටිනවා. ශල්‍යකර්ම සිදු කිරීම තව දුරටත් කල් යනවා කියන්නේ ඒ රෝගීන්ගේ ජීවිත වලට දැඩි අවදානමක් එල්ල වෙනවා. එම නිසා සමස්ත රෝහල් පද්ධතිය තුළ රෝගීන් විශාල සංඛ්‍යාවක් ජීවිත අවදානමකින් සිටිනවා. බෙහෙත් නොමැති වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන සෑම රෝගියෙකුගේම ජීවිතය පිළිබඳ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය, රජය හා ජනාධිපතිවරයා භාර ගත යුතු වනවා."