රෝගීන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය දේශපාලන වුවමනාවන් මත අවුල් කිරීමේ වැඩ පිළිවෙලක් ඇතැම් වෛද්‍යවරුන් ගේද සහාය ඇතිව ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙරටට ඖෂධ ගෙන්වූ ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 60 ක පමණ මුදලක් ගෙවීමට තිබෙන හෙයින් ඖෂධ ආනයනයේ දී පැන නැගී තිබෙන ගැටලු මගහරවා ගැනීම සඳහා සැපයුම්කරුවන්ට බැඳුම්කර ලබාදීමට කැබිනට් එකඟතාවය පලව තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය .
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (19) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදීය.
ඖෂධ සැපයුම්කරුවන්ගෙන් 90% ක් පමණ එසේ බැඳුම්කර ලබා ගැනීමට කැමැත්ත පළ කර තිබෙන හෙයින් ලබන කාර්තුව වන විට මෙරට ඖෂධ හිගය 80-90% කින් පමණ පහළ යනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.
ලියාපදිංචි නොවූ සමාගම් මගින් ඖෂධ ගෙන්වා තිබෙන බවට සුළු පිරිසක් හඬ නගන බවත් එලෙස ගෙන්වන ලද ඖෂධ භාවිතය හේතුවෙන් රෝගීන්ට යම් ගැටලුවක් ඇති වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
කෙටි සීමාවක් තුළ දී ඖෂධ මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම පියවර අනුගමනය කළ බවත් ඇතැමුන් එය විවේචනය කරනු ලබන්නේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් මිස ජනතා සුබසෙත ගැන සිතා නොවන බවද හෙතෙම අවධාරණය කළේය .
අත්‍යාවශ්‍ය නොවන සැත්කම් සඳහා ලබාදී තිබෙන දින කල් දැමීම මෙයට පෙර ද රටේ සිදුව තිබෙන බවත් ඇතැමුන් මෙවැන්නක් රටේ සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය බවට හුවා දැක්වීමට උත්සාහ කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය .
ෂේන් සෙනෙවිරත්න