රෝහල් පද්ධතිය තුළ මේ වනවිට අත්‍යවශ්‍යම ඖෂධ 40ක හිඟයක් සහ උපකරණ හා ප්‍රතික්‍රීයක හිඟයක් ඇති වී තිබෙන බවත්, ඉදිරි දෙසතියක කාලය තුළදී මෙම ප්‍රමාණය දෙගුණ විය හැකි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
මේ නිසා රජයට ඖෂධ මිලදී ගැනීමට නොහැකි නම් කඩිනමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මානුෂීය ආධාර යටතේ ඖෂධ ලබාගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
මීට අමතරව පෞද්ගලික ඖෂධ වෙළෙඳ සැල්වල ඖෂධ මිල පාන් ගෙඩියක මිල ඉහළ යන ආකාරයට ඉහළ යමින් තිබෙන බවත්, මේ නිසා දුප්පත් ජනතාව ඖෂධ මිලදී ගැනීමේදී දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත් හෙතෙම පවසා සිටියේය.
රට තුළ පවතින ඖෂධ හිඟය නිසා හා ඩොලර්යේ වටිනාකම දිනෙන් දිනම ඉහළ යාම නිසා මේ ආකාරයට ඖෂධ මිල ඉහළ යමින් තිබෙන බවත්, මෙම තත්ත්වය රටට ඉතාමත් අහිතකර තත්ත්වයක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.
එසේම රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ නිසි ලෙස ලබාදීමට කටයුතු කළහොත් පෞද්ගලික වෙළෙඳ සැල්වල ඖෂධ මිල ඉහළ යාම පාලනය වන බවද හෙතෙම පවසා සිටියේය.
විදේශ රටකින් ඖෂධ මෙරටට ගෙන්වීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගත වන බවත්, මේ නිසා මෙරටට ඖෂධ ගෙන්වීමට වැඩපිළිවෙළක් සකස් නොකළහොත් දැනට පවතින ඖෂධ හිඟය ඉදිරි මාස දෙකක පමණ කාලය වනවිට හතර පස් ගුණයකින් පමණ වැඩි විය හැකි බවත් සභාපතිවරයා සඳහන් කළේය.
රට තුළ විශාල ඖෂධ හිඟයක් ඇති වී තිබියදී සෞඛ්‍ය ලේකම්වරයා ඒ පිළිබඳ කතා නොකරන බවත්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට ඖෂධ හිඟයට උත්තරයක් දීමට නොහැකි වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.