ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සේවිකා සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි කාන්තාවන් මුහුණ පා ඇති ගැටළු සහගත තත්ත්වය නිරාකරණය කරමින් ඔවුන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.
ඒ අනුව පසුගිය 24දා පළමු කණ්ඩායම වශයෙන් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඕමාන් සලාම් ගුවන් යානය මගින් මෙරටට පැමිණි අතර තවත් කාන්තාවන් 6 දෙනෙකු අද (2දා) දිවයිනට පැමිණීමට නියමිතය.
මෙයට අමතරව තානාපති කාර්යාලය මගින් කාර්යාංශයේ නීත්‍යානුකූලව ලියාපදිංචිය නොගත් සංචාරක වීසා මගින් ඕමානයේ රැකියා සඳහා ගොස් අතරමංව සිටි 18 දෙනෙකු ඔවුන්ගේ සේවාස්ථානයෙන් පැනයාම හේතුවෙන් එරට කම්කරු අමාත්‍යාංශය මගින් අසාධුලේඛනයට ඔවුන්ගේ නම් ඇතුලත් කර ඇති අතර, අදාල හාම්පුතුන්ගේ අවසරය මත ඔවුන් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර, නීතිවිරෝධී ලෙස එරට රැඳී සිටින පිරිසක් වශයෙන් ඔවුන් මෙරටට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් සැපයීම ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් සැලසිය යුතු වේ.
මෙම වාර්තාව අනුව ඔවුන් ඒ සඳහා යොමුකළ තැනැත්තන් සම්බන්ධයෙන් යොමු කිරීමට පහසුකම් සැලසූ විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයන් සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරි විමර්ශන කටයුතු සිදුකර ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, මේවන විට නීත්‍යානුකූල නොවන පරිදි සංචාරක වීසා මගින් විදේශගත වී සිටින සියළුම කාන්තාවන් අසාධු ලේඛනගත කිරීමටත්, ඔවුන්ට එරෙහිව කාර්යාංශ පනතේ ප්රතිපාදනයට යටත්ව නීතිමය පියවර ගැනීමටත් තීරණය කර ඇත.
මෙහිදී කාර්යාංශ ලියාපදිංචිය ලබා විදේශගතව සේවා ස්ථානයේ පැවති කරදර හේතුවෙන් තානාපති කාර්යාලයට වාර්තා කර ඇති 61 දෙනෙකුගේ ගැටළු විසඳීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට විෂයභාර අමාත්‍යවරයා විසින් කාර්යාංශ නිළධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති අතර, ඔවුන් මෙරටට රැගෙන ඒම සඳහා ඕමාන් රාජ්‍යයේ පවතින නීතිරීති වලට යටත්ව මෙම කටයුතු සිදුකිරීමේ පහසුකම් මේ වන විට සලසා ඇත.
තවද, සංචාරක වීසා මගින් විදේශගත වූ කාන්තාවන්ගේ වීසාපතෙහි කාලසීමාව අවසන්වීම හේතුවෙන්, ඕමාන් රාජ්‍යයේ රැඳී සිටින කාලසීමාවට අනුව නියමිත වීසා දඩමුදල් ගාස්තු එරට රජයෙන් නිදහස් කර ගැනීමටත්, සේවා ස්ථානයෙන් පැනඑන ලද කාන්තාවන් 18 දෙනෙකුගේ ගමන් බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් තාවකාලික ගමන් බලපත්‍ර ඔවුන් වෙත ලබාදීමට සහ ඔවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය ගුවන්ටිකට්පත් ලබාදීමේ කටයුතු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි සිදුකිරීමටත් ඒ අනුව, ඉදිරි කෙටිකාලයක් තුලදී මෙරටට ගෙන්වීමේ ගුවන්ටිකටිපත් ලබාදීමටත් කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇත.