ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට හැකියාව පවතීදැයි සොයාබැලීම සඳහා නීතිඥවරුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ ඊයේ (14දා) තීරණය කළහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ නිල නිවසේ ඊයේ සවස පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ඔවුහු මෙම තීරණයට එළඹියහ.
නීති ක්ෂේත්රයේ අත්දැකීම් සපිරි නීතිඥයන් නියෝජනය වන පරිදි එම විශේෂඥ කමිටුව ඉතා ඉක්මනින් පත් කර, එහි තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට පක්ෂ නායකයන් තීරණය කළ බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා %‘අද^ට පැවසීය.
අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඒ සම්බන්ධව සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතරින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණද, සන්ධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂවල මන්ත්රීවරුන්ට ස්වාධීන වීම සම්බන්ධව ගැටලුවක් නැතැයි ඒකාබද්ධ විපකෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන්ට ස්වාධීන වීමේදී මතුවිය හැකිද යන්න සම්බන්ධව කමිටුවේ විශේෂ අවධානය යොමුවනු ඇතැයිද වාර්තා වෙයි.
ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට අදාළ අවසන් තීරණය ඊයේ දිනයේදී ගන්නා බවට එම කණ්ඩායමේ මන්ත්රීවරුන් මීට පෙර විවිධ ස්ථානවලදී ප්රකාශ කර තිබිණි.