එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව කාලගුණය හා දේශගුණය නොව මෙරට කිසිවෙකුත් නොපෙනී ක්‍රියාත්මක වන මහා පරිමාණ එළවළු බීජ මාෆියාව බව පරිසරවේදී තිලක් කන්දේගම මහතා පැවසීය.
මේ වන විට ශීඝ්‍රයෙන් අති විශාල ආකාරයට ඉහළ දමා ඇති එළවළු බිජ මිල පහත හෙළා බීජ මාෆියාව මර්දනය කොට රටට ගැලපෙන දේශීය බීජ හඳුන්වා දීම සිදු නොකළහොත් ඉදිරියේ දී බරපතළ ප්‍රශ්නවලට මෙරට ජනතාව මුහුණ දෙන බව හෙතෙම සඳහන් කළේය.
දිනෙන් දින ඉහළ යන බීජ මිල පාලනය කිරීම සඳහා රජය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වගකිවයුතු කිසිදු අයෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙම අනතුර පෙන්වා දීම සදහා ඇළහැර ප්‍රදේශයේ පිහිටි තමා විසින් පවත්වාගෙන යන සොබා දහම ගොවිපළේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම බීජ මාෆියාව පිළිබඳව හෙළිදරව් කරන පිරිස්, මාධ්‍යවේදීන් හා පරිසරවේදීන් යන ඕනෑම අයෙකුට දැඩි ජීවිත තර්ජන එල්ල වීමේ අවදානමක් පවතින බවත්, මෙම බීජ ජාවාරම පිළිබඳව තමන් දිගින් දිගටම සිදු කරන හෙළිදරව් නිසා තම ජීවිතයටද තර්ජන එල්ල වී තිබෙන බවත් පෙන්වා දෙන තිලක් කන්දේගම මහතා කියා සිටියේ තමන් මෙම බීජ මාෆියාව පිළිබඳව ජනතාව දැනුවත් කොටස වීරයකු ලෙස ඝාතනය වීම පිළිගන්නා බවය.
කැරට් මිල ඉහළ යෑම සඳහා කාලගුණය, දේශගුණය හෝ වැස්ස කිසිදු බලපෑමක් සිදු නොවූ බවද පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ මෙහි යටි අරමුණ කවුරු හෝ කැරට් විදේශ රටකින් ගෙන්වීම සඳහා උත්සාහයක නිරත වූ බවය.මෙවැනි බීජ ඕනෑ තරම් රට පුරා තිබියදී මැලේසියාවෙන් ගෙන්වා සිදු කරන මෙම ක්‍රියාවලිය නිසා ගොවියා ගොවිතැනින් ඉවත්වීම දිනෙන් දින සිදුවන බවය.
ඖෂධ ජාවාරම පිළිබඳව කතා කරන බොහෝ දෙනාට සිදුවූයේ ද ජීවිත අවදානම බවත්, සේනක බිබිලේ වැනි අයට සිදුවූයේ එවැනි දේ බවත් හෙතෙම පැවසීය. එම නිසා මෙම බීජ මාෆියාව පිළිබඳව කතා කරන ඕනෑම අයෙකුට එවැනි ඉරණමකට මුහුණ පෑමට සිදුවන බවද ඔහුපෙන්වා දුන්නේය.