NDB බැංකුවේ සිදු වූ බවට හඳුනාගෙන ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (06) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කරුණු විමසා බැලීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී NDB බැංකුවේ මූල්‍ය ප්රකාශනවල මතු වූ අසාමාන්‍යතා, විගණන ක්‍රියාවලියේ පැවති අඩුපාඩු සහ අදාළ විගණන වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙම කාරක සභා රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස් සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, එම්.කේ.එම්. අස්ලම්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මෙහිදී ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්රමිතීන් නිරීක්ෂණ මණ්ඩලය (SLAAMB) විසින් සිදු කර ඇති විමර්ශනයේ සොයා ගැනීම් සහ Deloitte Touche Tohmatsu India LLPආයතනය විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ කරුණු පිළිබඳවද අවධානය යොමු විය. විශේෂයෙන්ම NDB බැංකුවේ මූල්‍ය ප්රකාශනවල පැවති අසාමාන්‍යතා හඳුනා ගැනීමට බාහිර විගණකවරුන් අසමත් වීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී කරුණු විමසා බැලීය.
අදාළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ආයතනික පාලනය සහ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වගවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, NDB බැංකුවේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් රාජ්‍ය හා මහජන අරමුදල් නියෝජනය කරන ආයතන සතු බැවින්, මෙවැනි මූල්‍ය අක්‍රමිකතාවලින් රාජ්‍ය අරමුදල්වලට සහ මහජනතාවට සිදු විය හැකි බලපෑම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.
මූල්‍ය පද්ධතිය තුළ සිදුවන වංචා වැළැක්වීම සඳහා LankaPay මඟින් මධ්‍යගත වංචා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කළ අතර එක් එක් බැංකුව තුළ සිදු වන ගනුදෙනු අධීක්ෂණය කිරීම සඳහා බැංකු මට්ටමින් වංචා නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
ඒ අනුව, NDB බැංකුවේ මූල්‍ය අක්රමිකතාව පිලිබඳ අවසන් විගණන වාර්තාවේ පහත නිරීක්ෂණ ඇතුළත් වේ.
1. මෙම විගණනය 2016.04.01 සිට 2026.03.31 දක්වා වූ කාලසීමාව ආවරණය කරයි. රු. 13,639,664,684/- (රු. බිලියන 13.6) ක වටිනාකමකින් යුත් වංචනික ගනුදෙනු හේතුවෙන් ඇති වූ මූල්‍ය බලපෑම මෙම විගණන වාර්තාව මගින් නිශ්චිතව දක්වා ඇත.
2. 2026.09.29 දින සිදු කරන ලද හෙළිදරව්වට අනුව, වංචනික ගනුදෙනු හේතුවෙන් ඇති වූ මූල්‍ය බලපෑම පහත පරිදි වේ.
• 2025.01.01 ට පෙර කාලසීමාව සඳහා රු. බිලියන 1.5 ක්
• 2025 වර්ෂය තුළ රු. බිලියන 9.6 ක්
• 2026.03.31 න් අවසන් වූ කාර්තුව සඳහා රු. බිලියන 2.5 ක්
3. 2026.04.06 දින NDB විසින් සිදු කරන ලද මූලික හෙළිදරව්ව හා සසඳන විට, වාර්තා වූ වංචා මුදල රු. බිලියන 13.2 සිට රු. බිලියන 13.6 දක්වා රු. බිලියන 0.4 කින් ඉහළ ගොස් ඇත. 2026.06.22 දිනැති අතුරු වාර්තාව මත පදනම්ව 2026.06.26 දින NDB විසින් හෙළිදරව් කරන ලද මුදල හා සසඳන විට, මෙම අතිරේක වංචා මුදල රු. මිලියන 60 කි.
4. මෙම වංචා සිදුවීම හේතුවෙන් කිසිදු පාරිභෝගික ගිණුමකට බලපෑමක් සිදු නොවූ බවට මීට පෙර සිදු කළ හෙළිදරව් කිරීම් අවසාන විගණන වාර්තාව මගින් ද තහවුරු කර ඇත.
5. CEFT ගනුදෙනු සැකසීම, මූලික බැංකුකරණ පද්ධතියේ (Core Banking system) පරිශීලක මට්ටමේ ක්‍රියාකාරකම් (user activities) සහ පරිශීලක ප්‍රවේශ තොරතුරු (user credentials) කළමනාකරණයට අදාළව NDB හි පාලන ව්‍යුහ (governance) අසාර්ථකත්වයන් කිහිපයක් මෙම වාර්තාව මගින් හඳුනාගෙන ඇත. මීට අමතරව, ගනුදෙනු අධීක්ෂණය( transaction monitoring), දෛනික ගිණුම් සැසඳීමේ ක්‍රියාවලිය (reconciliation), මූල්‍ය අනුකූලතාව (compliance), අභ්‍යන්තර විගණනය, ශාඛා ජාල කළමනාකරණය සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය (operational risk management) වැනි ක්‍රියාකාරී ක්ෂේත්‍ර කිහිපයක ද අඩුපාඩු හඳුනාගෙන තිබේ.
6. බැංකුවේ ඉහත සඳහන් ක්‍රියාකාරකම් තුළ පාලන ක්‍රමවේද, පාලන ව්‍යුහයන් සහ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා පුළුල් නිර්දේශ මෙම විගණන වාර්තාව මගින් ලබා දී ඇත.