එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතා පෙරමුණ නොහොත් ටී.එම්.කේ. පක්ෂය සමඟ තනිව සාකච්ජා කිරිමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පක්ෂයට සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් උතුරු නැගෙනහිර දේශපාලන ගැටලුව වෙනුවෙන් විසඳුම් ඉල්ලා යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂකයින් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අවස්ථාවක අදාළ සියලු පක්ෂ එක්ව සාකච්ඡාවක් සිදුකරන්නේනම් පමණක් තම පක්ෂද එක්වන බවට එක්සත් ජාතික පක්ෂ නායකයාට දැනුම්දුන් බවද සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියි.
කණ්ඩායමක් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ පහක් ඒකාබද්ධව එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් හට කරුණු 13 ක් ඇතුලත් යෝජනාවලියක් සකස් කොට ඇති අතර ජනාධිපතිවරණයේදී සහාය දීම සම්බන්ධයෙන් එම කණ්ඩායම සමග පමණක් සාකච්ජා කිරිමට තම පක්ෂය බලාපොරොත්තු වන බවද විග්නේශ්වරන් මහතා පැවසුවේය.
විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලැබෙන අදාළ යෝජනාවලිය වෙනුවෙන් එකඟතාවය ප්‍රකාශ කරන අපේක්ෂකයා වෙනුවෙන් පමණක් දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීම මත සිදුකළ සාකච්ජාවකින් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ ජනතා පෙරමුණේ නායක සි.වි.විග්නේශ්වරන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා විසින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපත් කළ කොන්දේසි 13 කින් යුතු යෝජනාවලිය වෙනුවෙන් සාමුහික කැමැත්ත පළ කරමින් අදාළ යෝජනාවලිය වෙනුවෙන් පසුගියදා අත්සන් කිරීම සිදුකෙරිණ.
