ආණ්ඩුව සමග ගණුදෙනු කරමින් එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයින්ව පාවාදෙමින් සිටින සුළු කල්ලියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තීන්දු කළ බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
අද (29) සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් හැට දෙදෙනාගෙන් ,හතලිහකට ආසන්න බහුතරය විසින් මෙම තීන්දුව ගත් බව ද මහලේකම්වරයා සඳහන් කළේය.
පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය කඩ කිරීම,මහජන නියෝජිතයින් නොමග යැවීම,කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් රැවටීමට ලක් කිරීම සහ නොමග යැවීම,කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කරන ලද තීන්දු වලට පිටුපා යමින් කටයුතු කිරීම, ආණ්ඩුව සමග කරන ලද පාවාදීම් හා ගණුදෙනු ඇතුලු කාරණා කිහිපයක් මුල්කොටගෙන මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිත බව ද මහලේකම්වරයා ප්‍රකාශ කළේය.
වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් 66ක් නියෝජනය කරන අතර එයින් 40කට ආසන්න පිරිසක් සමගි ජනබලවේගය සමග එක්ව සිටින බවත්, ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 80ක් එක්ව සිටින්නේ සමගි ජන බලවේගය සමග බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර රැස්වීමේදී ප්‍රධාන තීන්දු දෙකක් ගනු ලැබූ බවත්, ආණ්ඩුව සමග ගණුදෙනු කරන සියලු දෙනාට විරුද්ධ ක්‍රියාමාර්ග ගැනීමටත් මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමගි කොට එම පක්ෂය කල්ලියක ග්රහණයෙන් මුදවා ගැනීමත්, පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුලු සියලු දෙනා වෙනුවෙන් නොමිලේම නීතිමය සහ වෙනත් පහසුකම් සැලසීමටත් තීන්දු කළ බව ද සමගි ජනබලවේගය වැඩිදුරටත් සඳහන් කළේය.