එක්ස්ප්‍රස් පර්ල් (X – Press Pearl) නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලැබුණු වන්දි මුදල් ධීවර වන්දි ගෙවීමට සහ වෙරළ සංරක්ෂණයට යෙදවීම සිදු වූ ආකාරය පිළිබඳ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.
මේ අනුව මේ වන විට ලැබී ඇති වන්දි මුදල් ප්‍රමාණය සහ ඒවායින් ධීවරයන්ට වන්දි වශයෙන් ගෙවා ඇති මුදල් ප්‍රමාණය, වෙරල ආරක්ෂණය වෙනුවෙන් වියදම් කර ඇති මුදල් ප්‍රමාණය සහ මේ වන විට ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සවිස්තර වාරතාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද මෙහිදී කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.
මේ පිළිබඳ අවධානය යොමු වූයේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
රුපියල් මිලියන 293ක මුදලක් ධීවර අංශය වෙනුවෙන් තවමත් ඉතිරිවී ඇති බවද මෙහිදී පැමිණි නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදි. මේ අනුව එම ලැබුණු මුදල ධීවරයින් වෙනුවෙන් නොගෙවීම සම්බන්ධයෙන් කාරක සභාව තම අප්‍රසාදය පල කළ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ඇතැම් ධීවරයින් විදේශ ගතවීම සහ අදාළ වන්දිය ලබාගතයුතු පුද්ගලයා ඉදිරිපත් නොවීම නිසා මෙම වන්දි මුදල් ඉතිරිවී ඇති බවත් ඒවා ඉදිරියේදී ගෙවීමට කටයුතු කරන බවත්ය.
මෙහිදී මෙම නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ පවරා ඇති නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද පැමිණි පාර්ශ්වවලින් කරුණු විමසීම සිදු විය. එසේම අදාළ නෞකාවේ හිමිකාරීත්වය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එංගන්තයේ පවරන ලද නඩුව සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
මෙහිදී පරිසර අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ පාර්ශ්ව අතර සම්බන්ධතාවය තරමක අවම මට්ටමක පවතින බව කාරක සභාව පෙන්වා දුන් අතර සියලුම පාර්ශ්ව මේ සම්බන්ධයෙන් එක්ව සාකච්ඡා කර කරුණු නිවැරදිව නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාවය කාරක සභාව විසින් පෙන්වා දෙන ලදි. එසේම මේ සම්බන්ධයෙන් ඉක්මන් විසදුම් සෙවීමේ දුර්වලතාවයන් පෙන්නුම්කරන බවද මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පවසන ලදි. තවද මෙම නෞකාව මගින් සිදු වූ හානිය සම්බන්ධයෙන් අවශ්‍ය පූර්ණ වන්දිය අයකරගැනීමට අවශ්‍ය සියලු වැඩසටහන සම්බන්ධයෙන් කාරක සභාවේ උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.